ඉකෝ ස්පින්ඩ්ල්ස් ප්‍රතිචක්‍රීයකරණය කළ ප්ලාස්ටික් යොදා නූල් නිෂ්පාදනය 120%කින් ඉහළ නැංවීමට යයි

BPPL හෝල්ඩිංග්ස් පීඑල්සී අනුබද්ධිත ශ‍්‍රී ලංකාවේ විශාලතම ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණ සමාගම වන ඉකෝ ස්පින්ඞ්ල්ස් ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ ප්ලාස්ටික් භාවිතයෙන් නූල් නිෂ්පාදනය කිරීමේ ධාරිතාව තවදුරටත් පුළුල් කිරීමට අදහස් කරගෙන සිටින බව පවසයි.

එසේම ලොව ප‍්‍රමුඛ පෙළේ විලාසිතා වෙළෙඳනාමයන් සමඟ එක්ව ඔවුන් භාවිතා කර ඉවතලන දෑ ප‍්‍රතිචක‍්‍රීයකරණය කර සිය පරිසර හිතකාමී නිෂ්පාදන එකතුවට අලූතින් නිෂ්පාදන හදුන්වාදීමටත් එම සමාගම  සැලසුම් කර තිබේ.

ප‍්‍රතිචක‍්‍රීකරණය කළ පොලිඑතිලීන් ටෙරෙෆ්තලේට් (PET) ප්ලාස්ටික් කුඩා කැබලිවලින් කෙලින්ම පොලියෙස්ටර් නුල් නිෂ්පාදනය කිරීමට හැකියාව ඇති දැනට ලෝකයේ එම පහසුකම තිබෙන කර්මාන්තශාලා දෙකෙන් එකක් ඉකෝ ස්පින්ඞ්ල්ස් සතුව පවතී.

ඒ අනුව 2022 අපේ‍්‍රල් මාසයේදී සිය නූල් කර්මාන්තශාලාව පුළුල් කිරීමේ වැඩසටහනේ දෙවන අදියර අවසන් වූ පසු ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන ලද පොලියෙස්ටර් නූල් නිෂ්පාදනය කිරීමේ ධාරිතාව මසකට ටොන් 100 සිට ටොන් 220 දක්වා එනම් 120% කින් ඉහළ දැමීමට සමාගම අපේක්ෂා කරයි.

මෙම පුළුල් කිරීමේ තුන්වන අදියර ලෙස ඉකෝ ස්පින්ඞ්ල්ස් ශ‍්‍රී ලංකාව තුළ හෝ ගෝලීය වශයෙන් සිය ව්‍යාපාරය ව්‍යාප්ත කිරීමේ හැකියාව පිළිබඳව සොයා බලමින් සිටී.

ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන ලද PET ප්ලාස්ටික් භාවිතයෙන් නිපදවන ලද නිෂ්පාදන ප‍්‍රධාන වශයෙන් අපනයනය කරනු ලබන බැවින් ශ‍්‍රී ලංකාවට වැඩි අපනයන ආදායමක් සහ විදේශ විනිමය උත්පාදනය කරමින් මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට සමාගමට හැකිව තිබේ. තවද එය ලෝකයේ විශාලතම පාරිසරික ගැටළු වලින් එකක් වන ප්ලාස්ටික් අනිසි ලෙස බැහැර කිරීම සඳහා ද සාර්ථක ලෙස පිළියම් සපයයි.

සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් 2022 පෙබරවාරි 14 වැනි දින පැවති ඉකෝ ස්පින්ඞ්ල්ස් හි වාර්ෂික නූල් සම්මන්ත‍්‍රණයේදී සමාගමේ මෙම පුළුල් කිරීමේ කටයුතු පිළිබඳව නිවේදනය කළේය. සම්මන්ත‍්‍රණය අතරතුර ඉකෝ ස්පින්ඞ්ල්ස් විසින් 2021 වසරේ හොඳම ගැනුම්කරුවන් දස දෙනා ඇගයීමට ද ලක් කිරීම කැපී පෙනිනි.

BPPL Holdings කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී, ආචාර්ය අනුෂ් අමරසිංහ, ඉකෝ ස්පින්ඞ්ල්ස් නූල් අංශයේ ප‍්‍රධාන විධායක නිලධාරී, නාලක සෙනවිරත්න සහ ඉකෝ ස්පින්ඞ්ල්ස් නූල් අංශයේ අලෙවි ප‍්‍රධානී, ජෙරම් ද මෙල් යන මහත්වරුන් විසින් මෙම සම්මන්ත‍්‍රණයේ ප‍්‍රධාන දේශන පවත්වන ලදී. මෙහිදී ඔවුන් සමාගම ව්‍යාපාරික වශයෙන් වැඩිදියුණ කිරීමේ සැලසුම්වලට අමතරව ප්ලාස්ටික් දුෂණයට එරෙහිව දැනට පවතින සටන පිළිබඳව සිය අදහස් හා දැනුම හුවමාරු කරගත් අතර එහි ඇති ගෝලීය බලපෑම සමඟින් රටක් ලෙස අනුගමනය කළ යුතු විසඳුම් ද ඉදිරිපත් කළහ.

”පරිසරය කෙරෙහි දැඩි ඇල්මක් දක්වන පුද්ගලයන් වශයෙන් ප්ලාස්ටික් ද්‍රව්‍ය ස්වභාවධර්මයට ඇති කරන බලපෑම පිළිබඳව අපි දැඩි ලෙස සානුකම්පිත වෙනවා. සෑම වසරකම PET ප්ලාස්ටික් බෝතල් බිලියන 583 කට වඩා වැඩි ප‍්‍රමාණයක් නිපදවන අතර එයින් 85% ක් කුණු ගොඩවල් වලට යනවා. මෙම අර්බුදය සඳහා විසඳුම චක‍්‍රීය ආර්ථික ආකෘතියක් නිර්මාණය කිරීමට සහ එයට සහාය වීමට උත්සාහ කරන සමාජ ව්‍යවසායකත්වයක් බව අපි විශ්වාස කරනවා. ඉකෝ ස්පින්ඞ්ල්ස් බිහිවූයේ මෙම අවබෝධයෙන් යුතුව වන අතර අපගේ ගනුදෙනුකරුවන් සහ හවුල්කරුවන් මෙම වැදගත් මෙහෙවර සාක්ෂාත් කරගැනීම සඳහා අපට සහාය වීම අපට සතුටක්. ඉදිරියේදීත් ඔවුන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් ආචාර්ය අමරසිංහ මහතා පැවසුවේය.

ඉවතලන ඇගළුම් ද්‍රව්‍ය භාවිතයෙන් ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන ලද පොලියෙස්ටර් නූල් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති බව ද ඉකෝ ස්පින්ඞ්ල්ස් මෙම සමුළුව අතරතුර නිවේදනය කළේය. මෙම නවෝත්පාදනයන් ඉදිරියට කරගෙන යාමට සමාගම ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ ඇඟලූම් නිෂ්පාදකයින් සහ ගෝලීය ඇඟළුම් වෙළෙඳනාම සමඟ සමීපව කටයුතු කරමින් සිටී. එහි පළමු වාණිජමය නිෂ්පාදනය 2022 මැයි මාසයේදී දියත් කිරීමට නියමිතය.

”ගෝලීය වශයෙන් ඉවතලන ඇගළුම් ද්‍රව්‍යවලින් ප‍්‍රතිචක‍්‍රීයකරණය හෝ නැවත භාවිත කරනු ලබන්නේ 20%ක් පමණයි. ඉතිරි 80% පිළිස්සීම හෝ කසළ අංගනවලට හෝ දමනු ලබයි. ශ‍්‍රී ලංකාව ඵලදායී ඇඟළුම් අපනයනකරුවෙකු වන හෙයින් ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ ඉවතලන ඇගළුම් ද්‍රව්‍ය නැවත නූල් බවට පත් කිරීමේ හැකියාව දේශීය කර්මාන්තයටත් එහි ගෝලීය වෙළෙඳ නාමයන්ට මෙන්ම විකුණුම් හවුල්කරුවන්ටත් ඔවුන්ගේ තිරසාර උත්සාහයන් ඉහළ නැංවීම සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දෙනවා. මීට අමතරව සාමාන්‍යයෙන් පරිසරයේ දිරාපත් වීමට වසර 1,000 කට වැඩි කාලයක් ගත වන PET බෝතලයක් පොලියෙස්ටර් නූල් බවට ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි අතර එය පසුව ඇඟළුම් නිෂ්පාදනය කිරීමට භාවිත කරනු ලබනවා. මෙම පරිවර්තනය තුළින් අපි වගකීමෙන් යුතුව ප්ලාස්ටික් බැහැර කර ප‍්‍රතිචක‍්‍රීයකරණය කළහොත් දිරාපත් වීමට ගතවන වසර 900කට වැඩි කාලය අවම කර ගැනීමට හැකියි’’ යනුවෙන් නාලක සෙනවිරත්න මහතා පැවසුවේය.

Views: 121