සිය ටයිල් නිෂ්පාදනවල උපරිම සිල්ලර මිල ගැන ලංකා ටයිල්ස් වෙතින් නිවේදනයක්

වෙළෙඳ පොළේ පවතින ලංකා ටයිල්ස් නිෂ්පාදන ඒවායේ උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් අලෙවි වන බවට පවතින අදහස සම්බන්ධයෙන් වෙළෙඳ දැන්වීමක් මගින් පාරිභෝගිකයන් දැනුවත් කිරිමට ලංකා ටයිල්ස් සමාගම අද දිනයේදී කටයුතු යොදා තිබුණි.

ඒ අනුව සිය ටයිල් නිෂ්පාදන කිසිවෙකුටවත්, කොතැනකදීවත් උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් අලෙවි කිරීමේ අවස්ථාවක් නොමැති බව ලංකා ටයිල්ස් සමාගම පවසයි.

එහිදී එවැනි උපරිම සිල්ලර මිලට වඩා වැඩි මුදලට ටයිල් අලෙවි කරන්නන් සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුවත් කිරීමේ අයිතියද පාරිභෝගිකයන් සතුව පවතින බවත් ලංකා ටයිල් සමාගම පවසයි.

එසේම එම දැන්වීමේ සටහන් කර ඇති QR කේතය ස්කෑන් කිරීම හරහා සිය වෙබ් අඩවිය වෙත පිවිස හෝ සිය පාරිභෝගික සහායක දුරකතන අංකය ඇමතීමෙන් ලංකා ටයිල්ස් නිෂ්පාදනවල වර්තමාන මිල ගණන් දැන ගැනීමේ අවස්ථාවද පාරිභෝගිකයන්ට පවතින බව සමාගම සඳහන් කරයි.

“අපගේ දිවයින පුරා ව්‍යාප්ත අලෙවි ජලයට අමතරව පාරිභෝගිකයන්ගේ පහසුව පිළිබඳව අවධානය යොමු කරමින් අපි අපගේ ප්‍රදර්ශනාගාර හරහා අ‍පේ නිෂ්පාදන අලෙවි කිරීම සිදු කරනවා. ආසන්න කාලසීමාවේදී අපට අපගේ නිෂ්පාදන ඉතාමත් ඉහළ මුදලකට අලෙවි කරන බවට පාරිභෝගිකයන්ගෙන් පැමිණිලි ලැබි තිබුණි. ඒ නිසා අපගේ නිෂ්පාදවල උපරිම සිල්ලර මිල ඒවායේ ඇසුරුම් මත සටහන් කර තිබෙන බව සඳහන් කරන්න කැමතියි.” යනුවෙන් ලංකා ටයිල්ස් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

Views: 2159