රුපියල් බිලියන 1.2ක RESUS Energy ණයකර නිකුතුව රුපියල් මිලියන 750ක් වෙයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත RESUS Energy PLC සමාගම (HPWR.N0000) පසුගිය වසරේ දෙසැම්බර් 10 වැනිදා නිවේදනය කළ සිය ණයකර නිතුතුව සඳහා සංශෝධන ඉදිරිපත් කරන බව පවසයි.

පසුගිය සිකුරාදා දිනයේදී එම සමාගම ලිපියක් මගින් කොළඹකොටස් හුවමාරුව වෙත මේ බව දැනුම් දී තිබේ.

සමාගම සඳහන් කරන ආකාරයට මෙහිදී රුපියල් මිලියන 12ක් (12,000,000ක්) වටිනා ලැයිස්තුගත, වර්ග කෙරුණු, සුරක්ෂිත නොවූ, ජ්‍යෙෂ්ඨ, පිරිමුදවා ගත හැකි ණයකරයක් ලෙස මෙම නිකුතුව සිදු කිරීම සැලසුම විය.

එහිදී එක් ණයකර කොටසක් රුපියල් 100ක් බැගින් මිල කෙරී තිබූ අතර, සමස්ත නිකුතුවේ වටිනාකම රුපියල් බිලියන 1.2ක් විය.

කෙසේ වෙතත් පසුගියදා රැස් වුණු RESUS Energy PLC සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගන්නා ලද තීරණයකට අනුව මෙම නිකුතුව හරහා සිදු කරන ණයකර කොටස් ප්‍රමාණය මිලියන 7.5ක් දක්වා අඩු කිරිමට පියවර ගෙන ඇතැයි පවසයි.

ඒ අනුව එක් ණයකර කොටසක් රුපියල් 100ක් බැගින් මෙම ණයකර නිකුතුව හරහා රැස් කරගැනීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 750ක් (750,000,000ක්)  වන බව RESUS Energy PLC සමාගම සඳහන් කරයි.

RESUS Energy PLC සමාගම මෙරට තුළ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රමුඛ පෙළේ සමාගමකි. 2021 දෙසැම්බර් 31 වැනිදා වනවිට එහි කොටස් හිමිකාරිත්වයෙන් කොටස් 25,714,012ක් එනම් 32.54%ක් ට්‍රයිඩන් පාර්ට්නර්ස් (පෞද්) සමාගම වෙත හිමිව තිබේ. එසේම කොටස් 25,705,718ක් එනම් 32.53%ක ප්‍රතිශතයක් ACL Cable PLC සමාගමට අයත් වෙයි. ඊට අමතරව කොටස් 4,204‍්,000ක එනම් 5.32%ක ප්‍රතිශතයක් හැටන් නැෂනල් බැංකුව/අයෙන්කා හෝල්ඩිංග්ස් (පෞද්) සමාගමට අයත් වෙයි.

Visits: 275