ඇඟළුම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන යොහාන් ලෝරන්ස් JAAF හි නව මහ ලේකම්වරයා ලෙස පත් වෙයි

ශ‍්‍රී ලාංකේය ඇඟළුම් කර්මාන්තය නියෝජනය කරන ප‍්‍රමුඛතම ආයතනය වන ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය (JAAF) සිය නව මහ ලේකම්වරයා ලෙස ක්ෂේත‍්‍රයේ අත්දැකීම් සපිරි ප‍්‍රවීනයෙකු වන යොහාන් ලෝරන්ස් මහතා පත් කළ බව නිවේදනය කර සිටී.

JAAF හි නිර්මාතෘ හිටපු මහ ලේකම් ටියුලි කුරේ මහතාගේ දීර්ඝ හා කීර්තිමත් සේවා කාලයෙන් පසුව හිස්වන එම ධූරයේ මීළඟ අනුප‍්‍රාප්තිකයා ලෙස යොහාන් ලෝරන්ස් මහතා කටයුතු කරනු ඇත. ඇඟළුම් ක්ෂේත‍්‍රයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව තනතුරුවල වසර 20ක අත්දැකීම් සහිත ඔහු ප‍්‍රමුඛ පෙළේ ආයතනවල නායකත්ව තනතුරු රැසක්ද හොබවා ඇත. එම සංසදයේ උපදේශකවරයෙකු ලෙස ටියුලි කුරේ මහතා අඛණ්ඩව කටයුතු කරනු ඇත.

JAAF හට අයත් ප‍්‍රධාන සංගමයක් වන ශ‍්‍රී ලංකා ඇඟළුම් අපනයනකරුවන්ගේ සංගමයේ (SLAEA) හිටපු සභාපතිවරයෙකු වන ලෝරන්ස් මහතා මීට පෙර JAAF හි උප සභාපතිවරයා ලෙස ද කටයුතු කර තිබේ. ලන්ඩන් විශ්ව විද්‍යායේ ආර්ථික විද්‍යාව පිළිබඳ BSc උපාධිධරයෙකු වන ඔහු එක්සත් රාජධානියේ මිඞ්ල්සෙක්ස් සරසවියෙන් MBA උපාධියක් ද ලබා ඇත. එමෙන්ම ඔහු මෙරට බහුජාතික ඇඟළුම් සමාගම්වල විවිධ ප‍්‍රධාන තනතුරු කිහිපයක් ද හොබවා තිබේ.

තවද Business Sustainability of InQube Global හි හිටපු ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරිවරයා (COO), ක්වන්ටම් ක්ලෝදින් ලංකා හි කලාපීය කළමනාකාරවයා සහ ශ‍්‍රී ලංකාවේ කෝට්ස් වියෙලා ක්ලෝදින් හි සහකාර සාමාන්‍යාධිකාරීවරයා වශයෙන්ද ලෝරන්ස් මහතා කටයුතු කර තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වන JAAF හි අභිනව සභාපති ශරාඞ් අමලියන් මහතා පැවසුවේ ‘‘ක්ෂේත‍්‍රයේ පළපුරුදු, උද්යෝගීමත් හා ගෞරවනීය වෘත්තිකයෙකු වන යොහාන් ලෝරන්ස් මහතා අපගේ නව මහ ලේකම්වරයා ලෙස පත් කරගැනීම JAAF හි ඉදිරි කටයුතු ශක්මත් කර ගැනීම උදෙසා සැලකිය යුතු අඩිතාලමක් වනු ඇති බව අපට විශ්වාසයි. ශ‍්‍රී ලංකාව ගෝලීය ඇඟළුම් කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ අප යන ඉදිරි ගමනට ක්ෂේත‍්‍රය පිළිබඳ ඔහු සතු හසළ දැනුම JAAF විධායක කමිටුවට මනා ප‍්‍රයෝජනයක් වනු ඇතැයි අප විශ්වාස කරනවා. මෙම ධූරයෙන් නික්ම යන වසර ගණනක් පුරා මෙරට ඇඟළුම් ක්ෂේත‍්‍රය උන්නතිය උදෙසා වෙහෙස නොබලා දක්වන ලද දායකත්වය සඳහා අපගේ හිටපු මහ ලේකම් ටියුලි කුරේ මහතාට මෙරට ඇඟළුම් කර්මාන්තය හා JAAF වෙනුවෙන් අපගේ ඉමහත් කෘතඥතාව මෙහිදී පළ කර සිටිනවා.’’ යනුවෙනි.

ඔහුගේ මෙම පත්වීමට පෙර සිටම කොවිඞ් වසංගයේ ව්‍යාප්තියත් සමඟ ඇඟළුම් ක්ෂේත‍්‍රයට එල්ල වූ බොහෝ අභියෝග හමුවේ ලෝරන්ස් මහතා සංගමයේ සාමාජිකයින් සමඟ ඉතා සමීපව සහයෝගයෙන් කටයුතු කළේය.

ඇඟළුම් කර්මාන්තයේ නියෝජිතයෙකු ලෙස ක්ෂේත‍්‍රයේ ප‍්‍රධාන කමිටු සහ සංවිධාන කිහිපයකටම ලෝරන්ස් මහතා සිය සහයෝගය ලබා දී ඇත. ජාතික කම්කරු උපදේශක කවුන්සිලය සඳහා ඇඟළුම් ක්ෂේත‍්‍රය විසින් ඔහුව නම් කර ඇති අතර ශ‍්‍රී ලංකා රෙදිපිළි හා ඇඟලූම් ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස ද ඒ මහතා සේවය කරයි. ඔහු ලංකා සේව්‍ය සම්මේලනය සඳහා ඇඟළුම් කර්මාන්තය නියෝජනය කරන නියෝජිතයා මෙන්ම අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) ඇඟලූම් උපදේශක කමිටුවේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරයි.

Views: 81