ප්‍රාග්ධන සහ වත්කම් වර්ධනයට DFCC බැංකුවෙන් රු.බිලියන 6ක හිමිකම් කොටස් නිකුතුවක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත බලපත්‍රලාභී බැංකුවක් වන DFCC බැංකුව (DFCC.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා හිමිකම් කොටස් නිකුතුවක් සිදු කිරීමට සැලසුම් කර තිබෙන බව පවසයි. පසුගියදා පැවැති බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී ඒ සඳහා අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව ආයෝජකයන් සතුව ඇති සෑම ඡන්ද හිමි කොටස් 37ක් සඳහාම අලුතින් කොටස් 12ක් හිමිවන ලෙස මෙම හිමිකම් කොටස් නිකුතුව සිදු කරන බව DFCC බැංකුව පවසයි.

මෙහිදී කොටස් 109‍,247,953ක් නිකුත් කිරීම සැලසුම වී ඇති අතර, කොටසක් රුපියල් 55.00ක් බැගින් මිල කෙරී ඇත. ඒ අනුව මෙම සමස්ත නිකුතුවේ වටිනාකම රුපියල් බිලියන 6කි.

මෙම හිමිකම් කොටස් නිකුතුව හරහා රැස් කරගන්නා රුපියල් බිලියන 6ක අරමුදල් මගින් බැංකුවෙහි මූලික ප්‍රාග්ධනය තවදුරටත් වර්ධනය කිරීමට සහ බැංකුවෙහි වත්මන් වර්ධනය සඳහා තවදුරටත් සහාය දීමක් වෙනුවෙන් යොදවා ගන්නා බවත් බැංකුව පවසයි.

අද වනවිට බැංකුවෙහි ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් බිලියන 8.6ක් එනම් රුපියල් 8,600,457,016.87කි.

ඊයේ දිනයේදී කොළඹකොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී DFCC බැංකුවෙහි කොටසක වටිනාකම රුපියල් 61.10ක් ලෙස සටහන්ව ඇති අතර, එය පෙර දිනයේදී කොටසක වටිනාකම වූ රුපියල් 58.90ට සාපේක්ෂව රුපියල් 2.20ක් එනම් 3.74%ක ඉහළ යාමකි.

Visits: 191