LOLC ෆිනෑන්ස් සහ CLC ඒකාබද්ධ කිරීම මාර්තු 31දා

LOLC සමූහයට අයත්, කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මූල්‍ය සමාගම් දෙකක් වන LOLC ෆිනෑන්ස් පීඑල්සී (LOFC) සහ කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (CLC) ඒකාබද්ධ කිරීමේ යෝජනාව ලබන මාර්තු 31 වැනිදා සිට බලාත්මක වන බව LOLC ෆිනෑන්ස් පීඑල්සී පවසයි.

මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ක්‍රියාත්මක කරන බැංකු නොවන මූල්‍ය ආයතන ඒකාබද්ධ කිරීමේ වැඩසටහන යටතේ ඒ සඳහා වන මූලික අනුමැතිය පසුගිය ජනවාරි 21 වැනිදා තමන් වෙත ලැබුණු බවත් එම සමාගම සඳහන් කරයි.

ඊයේ (පෙබරවාරි 01දා) කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් මේ බව දැනුම්දීමට LOLC ෆිනෑන්ස් පීඑල්සී කටයුතු යොදා තිබුණි.

ඒ අනුව මෙම ඒකාබද්ධවීමෙන් අනතුරුව ඉදිරියත් මෙහෙයුම් සිදුකරන සමාගම ලෙසට LOLC ෆිනෑන්ස් පීඑල්සී පත්වෙනු ඇති බවත් එහි සඳහන් වෙයි.

කෙසේ වෙතත් මෙම ඒකාබද්ධවීම සම්බන්ධයෙන් එකම එක කොන්දේසියක් පවතින බව පෙන්වා දෙන LOLC සමූහය, ඊට පෙර කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම සහ සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී සමාගම අතර යෝජිත ඒකාබද්ධවිම සිදුවිය යුතුව තිබෙන බවත් වැඩිදුරටත් සඳහන් කර සිටියි.

ඒ අනුව කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සහ සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී සමාගම් ඒකාඉබද්ධ කිරිමට අදාළව කොටස් ලැයිස්තුගත කිරීම පිළිබඳ අයැදුම්පත්‍රය පසුගිය ජනවාරි 26 වැනිදා කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම මගින් සකස් කර තිබෙන බවත් මෙහිදී අනාවරණය කර තිබේ.

මෙහිදී කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සහ LOLC ෆිනෑන්ස් අතර ඒකාබද්ධය පහත සඳහන් කරුණු සම්පූර්ණ වූ වහාම සිදුවනු ඇති බවත් සඳහන් වෙයි.

ඒ අනුව සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී සහ CLC අතර ඒකාබද්ධවීම, LOFC සහ CLC ඒකාබද්ධවීමට අදාළව කොටස් ලැයිස්තුගත කිරීම සඳහා කොළඹ කොටස් හුවමාරුව මගින් අනුමැතිය ලබාදීම, එම අනුමැතිය ලැබීමෙන් අනතුරුව විශේෂිත යෝජනාවක් ලෙස මෙම ඒකාබද්ධ කිරීම සඳහා CLC සහ LOFC යන සමාගම් දෙකෙහිම කොටස්හිමිකරුවන්ගේ අනුමැතිය ලබා ගැනීම යනාදිය වෙයි.

මෙහිදී අදාළ ඒකාබද්ධ සිදුවීමට අදාළ කොටස් හුවමාරුව එම අවස්ථාවේදී CLC සහ LOFC කොටසක වෙළෙඳ පොළ වටිනාකම අදාළ සමාගම් දෙකෙහිම කොටස් හිමිකරුවන්ගේ හමුවට වෙළෙඳ පොළ ගනුදෙනු දින පහකට පෙරාතුව සිදු කෙරෙන අවසන් ගනුදෙනු දිනයේදී වටිනාකම් අනුව ගණනය කෙරෙනු ඇති බවත් LOLC ෆිනෑන්සි පීඑල්සී පවසයි.

එසේම මෙහිදී CLC කොටස් හිමිකරුවන් වෙත ලබා දෙන LOFC කොටස් වටිනාකම් එහි ආසන්නතම අගයට වටයා ලබාදීමක් සිදු කරන බවත් වැඩිදුරටත් සඳහන් වෙයි.

මේ අතර 2021 දෙසැම්බර් 31 වැනිදා වනවිට CLC හි ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් බිලියන 1.4ක් වන බවත්, වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 3.4ක් වන බවත් මෙහිදී ප්‍රකාශ කෙරී ඇත. එසේම CLC හි මහජන කොටස් හිමිකාරීත්වයේ ප්‍රතිශතය 1.779%ක් ලෙස සටහන්ව ඇති අතර, කොටස් ප්‍රමාණය 6,824කි.

එසේම LOFC හි ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් බිලියන 12.8ක් ලෙස සඳහන්ව ඇති අතර, වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 6.9කි. සමාගමේ මහජන කොටස් හිමිකාරීත්වයේ ප්‍රතිශතය 6.638%ක් වන අතර කොටස් ප්‍රමාණය 11,437කි.

Views: 565