අපනයනකරුවන්ට සහ විභව අපනයනකරුවන්ට අපනයන සංවර්ධන මණ්ඩලයෙන් මූල්‍ය ආධාර

අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ක්‍රියාත්මක ජාතික අපනයන සන්නාම සංවර්ධනය, නව අපනයනකරුවන් සංවර්ධනය සහ වෙළඳපළ ප්‍රවේශ සහාය පිළිබඳ ආධාර වැඩසටහන් යටතේ තෝරාගත් ප්‍රතිලාභීන් වෙත චෙක්පත් සහ සහතිකපත් ප්‍රදානය වෙළඳ අමාත්‍ය ගරු බන්දුල ගුණවර්ධන මහතා විසින් පසුගිය 28 වන දින JAIC හිල්ටන් හෝටලයේ පැවති උත්සවයකදී සිදුකරන ලදී.

ජාතික අපනයන සන්නාම සංවර්ධන වැඩසටහන 2021-2024
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, ජාතික අපනයන සන්නාම සංවර්ධන වැඩසටහන (2021-2024)යටතේ, 100%ක් ශ්‍රී ලාංකික අයිතිය සහිත සන්නාම ප්‍රවර්ධනය සඳහා මූල්‍ය ආධාර යෝජනා ක්‍රමයක්  ක්‍රියාත්මක කරනු ලබයි.

මේ යටතේ නව්‍ය හාඉහළ අගය එකතු කළ භාණ්ඩ ශ්‍රී ලාංකික සන්නාම යටතේ නිෂ්පාදනය කොට ජාත්‍යන්තර වෙළඳපොළට ප්‍රවර්ධනය කිරීමට ව්‍යවසායකයින් දිරිමත් කරනු ලැබේ. 2021 ජාතික අයවැය යටතේ මෙම වැඩසටහන සඳහා වෙන් කර ඇති අරමුදල්වලින් පිරිවැය බෙදා ගැනීමේ පදනම මත 50%ක ආධාර ලබා දෙනු ලැබේ. රු.මිලියන 14 ක්අනුමත ප්‍රදානවලින් 20%ක මුදල් අත්තිකාරමක් සමාගම් 13ක් අතර බෙදා දෙන ලදී.

නව අපනයනකරුවන් සංවර්ධන වැඩසටහන
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ක්‍රියාත්මක නව අපනයනකරුවන් සංවර්ධන වැඩසටහන යටතේ අපනයන වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීම සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් පුහුණු කිරීමේ වැඩසටහනක අවසන් අදියර ලෙස පසුගිය දෙසැම්බර් මාසයේ පැවැති හොඳම අපනයන වෙළෙඳපොළ සැලසුම තේරීමේවැඩමුළුවකදී ජයග්‍රාහකයන් ලෙස තේරී පත් වූ සමාගම් 10ක් වෙත එක් අයෙකුට රුපියල් 5000 000 බැගින් රුපියල් මිලියන 5ක් වටිනා මූල්‍ය ත්‍යාගයන් පිරිනැමිණි.

සහභාගිවූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් විසින් අපනයන වෙළඳපොළට ප්‍රවිෂ්ට වීම සඳහා ක්‍රියාකාරී සැලසුම් විස්තරාත්මකව ඉදිරිපත් කරන ලද අතර සියලුම අපනයන වෙළඳපොළ සැලසුම් බාහිර ඇගයීම් මණ්ඩලයක් විසින් ඇගයීමට ලක් කිරීමෙන් ජයග්‍රාහකයින් තෝරා ගන්නා ලදී.

වෙළෙඳපොළ ප්‍රවේශ ආධාර වැඩසටහන
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයවිසින් දියත් කරන ලද වෙළෙඳපොළ ප්‍රවේශ ආධාර වැඩසටහන යටතේ වෙළඳපළ පුළුල් කිරීම, වෙළඳපොළ ප්‍රවේශය, අගය එකතු කිරීම, ඵලදායිතාව වැඩිදියුණු කිරීම,ශ්‍රී ලාංකික සන්නාම ප්‍රවර්ධනය, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වීම, තාක්‍ෂණය වැඩිදියුණු කිරීම සහ තරගකාරිත්වය වැඩිදියුණු කිරීම සඳහා උනන්දුවක් දක්වන ව්‍යවසායකයින්ට එම අවශ්‍යතා සපුරා ගැනීම පිණිස පිරිවැය බෙදාගැනීමේ පදනම මත මූල්‍ය ආධාර ලබා දෙන ලදි.

2018 සිට 2021 දක්වා මෙම ව්‍යාපෘතිය යටතේ සමාගම් 111ක් සඳහා ලබා දී ඇති මුළු මූල්‍ය ආධාරය රු.මිලියන 192.7 කි. මේ අතරින් තෝරාගත් ව්‍යවසායන් පස් දෙනෙකු සඳහා රැපියල් මිලියන 5.9ක් ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාවට අපනයන සංවර්ධන මණ්ඩලයේසභාපති සුරේෂ් ඩී ද මෙල් මහතා, අධ්‍යක්ෂ ජනරාල් චිත්‍රාංජලී දිසානායක මෙනවිය සහ වෙළඳ අමාත්‍යාංශයේ සහ අපනයන සංවර්ධන මණ්ඩලයෙහි නිලධාරීහු සහභාගී සහභාගි වී තිබේ.

Visits: 96