Air India ගුවන් සේවය නිල වශයෙන් TATA සමාගම වෙත පැවරීම 27 වැනිදා

ඉන්දියානු රජයට අයත්ව තිබූ Air India ගුවන් සේවය මිලදී ගත් TATA සමාගම වෙත එය නිල වශයෙන් භාර දීම ලබන ජනවාරි 27 වැනිදා සිදු වීමට නියමිතව ඇතැයි Air India සමාගමේ ඉහළ නිලධාරියෙකු එම සමාගමේ සේවකයන් වෙත පවසා ඇතැයි වාර්තා වෙයි.

අභ්‍යන්තර ඊ-මේල් පණිවුඩයක් මගින් එම ගුවන් සමාගමේ මූල්‍ය අධ්‍යක්ෂවරයා මේ බව පවසා තිබේ. ඒ අනුව මෙම ගනුදෙනුවට අදාළව TATA සමාගම හා පවතින එකඟතා අවසන් අදියරේ පවතින බවත්, ඉදිරි දින කිහිපයේදී එම කටයුතු නිමා වෙනු ඇති බවත් ඔහු සඳහන් කර ඇත.

දරුණු පාඩු ලබමින්, ණයබරින් පෙළෙමින් තිබූ Air India ගුවන් සේවය ඉන්දියානු රුපියල් කෝටි 18,000ක මුදලකට මිලදී ගැනීමට TATA සමාගම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ 08 වැනිදා පියවර ගත්තේය. මේ මුදලින් වැඩිම කොටස ගුවන් සමාගම සතුව තිබූ ණය පියවීමට යොදාගෙන තිබේ.

මෙහිදී ගනුදෙනුව සිදුව ඇත්තේ TATA සමූහයේ පරිපාලිත සමාගමක් වන Talace Private Limited සහ Air India සමාගම අතරයි. මෙම එකඟතාවට අනුව Air India ගුවන් සේවය යටතේ ක්‍රියාත්මක වූ අඩුමිල ගුවන් සේවය වන Air India Express ගුවන් සේවයද TATA සමූහය වෙත හිමිව තිබේ. මීට අමතරව ගුවන් සමාගමේ ගොඩබිම් මෙහෙයුම් හස්තය වන Air India SATS හි 50%ක කොටසක්ද TATA වෙත හිමිව ඇත.

2003-04 වසරෙන් පසුව ඉන්දියාව තුළ සිදු වුණු පළමු වැනි රාජ්‍ය දේපළ පෞද්ගලිකකරණයද මෙය වෙයි. මෙම මිලදී ගැනීමත් සමගින්ම TATA සමූහය සතු ගුවන් යානා සන්නාම සංඛ්‍යාව තුනක් දක්වා ඉහළ යයි. දැනටමත් TATA සමූහය සතුව Air Asia සහ එහි අඩුමිල ගුවන් සේවය වන Vistaraගුවන් සේවය තුළ කොටස් හිමිකාරීත්වයක් පවතී.

Views: 136