ඇක්සස් ඉංජිනියරිං ජාඇල අක්කර 36ක ඉඩම ගත්තේ ලංකාවේ විශාලතම ගබඩා සංකීර්ණය ඉදිකරන්නලු

පසුගිය සතියේදී පැවැති කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී නාගරික සංවර්ධන අධිකාරියට අයත් ජාඇල, ඒකල පිහිටි අක්කර 36ක භූමි භාගයක් ඇක්සස් ඉංජිනියරිං සමූහය වෙත ලබා දී ඇත්තේ ලංකාවේ විශාලතම ගබඩා සංකීර්ණය ඉදිකිරීම සඳහා බව වාර්තා වෙයි.

මෙම කැබිනට් තීරණයට අනුව මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ඇක්සස් සමූහයට අයත් ඒකල පිහිටි ඇක්සස් ලොජිස්ටික්ස් පාර්ක් ඒකල (පෞද්) සමාගම වෙත එම ඉඩම ලබාදීමට අනුමැතිය හිමිව තිබේ.

මෙහිදී අදාළ ගබඩා සංකීර්ණය ඉදිකිරීම, මෙහෙයුම් සිදු කිරිම සහ ආපසු පැවරීම (BOT) යන එකඟතාව යටතේ එම ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය මගින් වසර 49ක බදු කාලයක් සඳහා ඇක්සස් ඉංජිනියරිං පීඑල්සී වෙත ලබා දී තිබේ. මෙම ඉඩමේ වටිනාකම රුපියල් බිලියන 2.4ක් වන බව පැවසෙයි.

අක්කර 36යි රූඩ් 01 පර්චස් 27.6ක විශාලත්වයකින් යුත් මෙම ඉඩම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට අයත්ව තිබූවකි. එය නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරාගෙන මෙලෙස සුදුසු ආයෝජකයෙකු සඳහා ඉදිරිපත් කර තිබේ.

රජය පවසන ආකාරයට තරගකාරී ලංසු ක්‍රමවේදයක් යටතේ ඉදිරිපත් වූ ලංසු මිල ගණන් අනුව ඇක්සස් ඉංජිනියරිං සමූහයට එම ව්‍යාපෘතිය සඳහා අදාළ ඉඩම ලබා දීම සිදුව ඇත.

මෙම ව්‍යාපෘතිය පිළිබඳව ඩේලිමිරර් පුවත්පත වෙත අදහස් දක්වා ඇති ඇක්සස් ඉංජිනියරිං සමූහයේ විධායක උප සභාපති ක්‍රිස්ටෝපර් ජොෂුවා මහතා මෙලෙස ලංකාවේ විශාලතම ගබඩා සංකීර්ණය ඉදිකිරීම පිළිබඳව අනාවරණය කර තිබේ.

ඔහු සඳහන් කරන ආකාරයට මෙම ව්‍යාපෘතියේ සමස්ත ආයෝජනය එක්සත් ජනපද ඩොලර් මිලියන 250කි. ලොව මුල් පෙළේ බහුජාතික සමාගමක් වෙත සිය අපනයන කටයුත්තක් සඳහා මෙම ගබඩා සංකීර්ණය කුලියට ලබාදීම වෙනුවෙන් ඉදි කෙරෙන බව පැවසෙයි.

ඉදිරියේදී ඇක්සස් ඉංජිනියරිං සමූහය සහ අදාළ බහුජාතික සමාගම සමගින් මෙම ව්‍යාපෘතියට අදාළ එකඟතාව අත්සන් තැබෙනු ඇති බවත්, එතෙක් දැනට පවතින එකඟතාවට අනුව එම බහුජාතික සමාගම කවරක්ද යන්න හෙළිදරව් කළ නොහැකි බවත් ජොෂුවා මහතා මෙහිදී පුවත්පත වෙත පවසා තිබේ.

මෙහිදී ගබඩා සංකීර්ණයෙහි අභ්‍යන්තර යටිතලපහසුකම් වෙනුවෙන් අදාළ බහුජාතික සමාගම එක්සත් ජනපද ඩොලර් මිලියන 50ත් 70ත් අතර මුදලක් ආයෝජනයට සූදානමින් සිටින බවත් ජෙෂාවු මහතා පවසයි. ඒඅනුව සමස්ත වියදම ඩොලර් මිලියන 250ක් වන අතර, එම බහුජාතික සමාගම සිය ගබඩාව කුලී පදනම මත ලබා ගැනීමට කැමැත්ත පළ කර ඇතැයිද ඔහු සඳහන් කරයි.

මෙම යෝජිත ගබඩා සංකීර්ණය වර්ග අඩි ලක්ෂ හතක පමණ විශාලත්වයකින් යුක්ත වෙයි. එය දැනට මෙරට ඇති විශාලතම ගබඩා සංකීර්ණය මෙන් තුන් ගුණයක් විශාල වෙයි. ඒ අනුව අද වනවිට මෙරට තුළ ඇති විශාලතම ගබඩා සංකීර්ණය එය වෙනු ඇතැයි සඳහන් වෙයි. මෙය ඉදිරි වසර එකහමාරක කාලයක් තුළදී ඉදිකර නිම කිරිම ඇක්සස් ඉංජිනියරිං සමූහයේ අදහස වී තිබේ.

මෙම ගබඩාව 100%ක්ම අපනයනය ඉලක්ක කරගත් ක්‍රියාකාරකම් වෙනුවෙන් උපයෝගී කරගනු ඇති බවත්, ඒ හරහා මෙරට අපනයන ආදායම වර්ධනය කරගැනීමේ අවස්ථාවක් උදා වන බවත් ජොෂුවා මහතා පෙන්වා දෙයි.

එසේම මෙම ගබඩා සංකීර්ණය හරහා නව රැකියා 2,000ත් 3,000ත් අතර සංඛ්‍යාවක් බිහි වනු ඇතැයි නාගරික සංවර්ධන අධිකාරියේ අදහස වී තිබේ.

Visits: 585