ලාබ ඉපැයීම් සහ කලබලකාරී අලෙවිය නිසා වෙළෙඳ පොළ දෙවැනි දිනටත් පසු බසී

අද (ජනවාරි 11දා) කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ආරම්භයේ සිටම ආයෝජකයන් අතර ලාභ ඉපැයීමේ අවස්ථාවන් වැඩි වශයෙන් දැකගත හැකි වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. ඒ අනුව දිනයේ පළමු අර්ධයේදී වෙළෙඳ පොළ තුළ ඉහළ කලබලකාරී අලෙවියක් සිදුව ඇති අතර, ඒහේතුවෙන් එක් අවස්ථාවකදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 194කින් පහත වැටුණු බවත් සඳහන් වෙයි.

කෙසේ වෙතත් සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් ඇතුළුව සොෆ්ට්ලොජික් සමූහයේ සමාගම්වල වටිනාකම් ඉහළ යෑම් හේතුවෙන් ආයෝජකයන් තුළ ඉහළ විශ්වාසයක් මතුවීම වෙළෙඳ පොළ දරුණු කඩාවැටිමකින් ආරක්ෂාවීමට හේතු වූ බවත් එම තැරැව්කාර සමාගම් වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 12,922.21ත් ඒකක 13,154.05ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 13,079.65ක් බවට පත්විය. එය ඊයේ (ජනවාරි 10) දිනයට සාපේක්ෂව ඒකක 37.42ක් එනම් -0.29%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (+16.7), සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී AAIC (+14.9), හුන්නස් ෆෝල්ස් හොටෙල්ස් පීඑල්සී HUNA (+7.7), වැලිබල් වන් පීඑල්සී VONE (+7.4), එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LFIN (+7.0), එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-22.9), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-20.1), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-7.1), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (-6.4), සෙංකඩගල ෆිනෑන්ස් පීඑල්සී SFCL (-6.0) යනාදී සමාගම්ය.

පෙර දිනයේ සිදුකළ සාකච්ඡාවලට අනුව එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී, හේලීස් පීඑල්සී සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පිඑල්සී ගනුදෙනු සමස්ත පිරිවැටුමෙන් 11.9%ක දායකත්වයක් එල්ල කර තිබේ.  

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 84ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 138ක මිල ගණන් පහළ ගොස් ඇත.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 4,518.94ක අගයක් ගත් අතර, එය ඊයේ (ජනවාරි 10දා) ‍ට සාපේක්ෂව ඒකක 25.49ක එනම් -0.56%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 7.94ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (ජනවාරි 10) වාර්තා කළ රුපියල් බිලියන 8.81ට  සාපේක්ෂව 9.9% ක පහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 5.88ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 7.03%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 87.10ක් ලෙස සටහන් විය. එසේම දිනය තුළ සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 130.93ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලා යෑම් හි වටිනාකම රුපියල් මිලියන 43.84කි. ඒඅනුව වසරේ ආරම්භයේ සිට පිටතට ගලා ගොස් ඇති සමස්ත විදෙස් ආයෝජන ප්‍රමාණයේ වටිනාකම රුපියල් බිලියන 1.75ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය හේලීස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන  16.31කි. එසේම විකුණුම් යටතේ වැඩිම දායකත්වය ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 48.62ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 2,061ක් සඳහා විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 26%කි. එසේම ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය සහ ප්‍රාග්ධන භාණ්ඩ අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 1‍,808ක සහ රුපියල් මිලියන 1,451ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Views: 241