IPL තරගාවලිය මේ වසරේ සිට TATA IPL වෙයි

මේ වසරේ පැවැත්වෙන මීළග ඉන්දියානු ප්‍රීමියර් ලීග් (IPL) තරගාවලියේ සිට එහි ප්‍රධාන අනුග්‍රාහකයා (Title Sponsor)  ලෙස TATA සමාගම පත් කෙරී ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව මෙතෙක් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා වූ චීනයේ VIVO ජංගම දුරකතන සමාගම වෙනුවට මින් ඉදිරියට ඉන්දියාවේම සමාගමක් වන TATA සමාගම එහි ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරනු ඇති බවත්, මේ වසරේ සිට තරගාවලිය TATA IPL ලෙස හැඳන්වෙනු ඇති බවත් ඉන්දීය මාධ්‍ය පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ඉන්දියානු ප්‍රීමියර් ලීග් හි සභාපති බ්‍රිජේෂ් පටෙල්ද මෙම නව ප්‍රධාන අනුග්‍රාහකත්වය TATA සමාගම වෙත පිරිනැමීම සිදු වුණු බව ස්ථිරවම පවසා තිබේ.

VIVO සමාගම 2018 සිට 2022 දක්වා IPL තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකත්වය දරා තිබේ. එහිදී ඇති කරගත් ගිවිසුමේ වටිනාකම ඉන්දියානු රුපියල් කෝටි 2,200ක් බව පැවසෙයි.

කෙසේ වෙතත් 2020 වසරේදී ඉන්දියාව සහ චීනය අතර ඇති වූ මතභේදකාරී තත්ත්වය නිසා එම වසරේ තරගාවලියේ අනුග්‍රාහකත්වයෙන් VIVO සමාගම ඉවත් කර එය ඉන්දියාවේ Dream11 සමාගම වෙත පිරිනැමීම සිදුවිය.

එහෙත් අවසන්වරට පැවැත්වුණු 2021 තරගාවලිය සඳහා යළිත් VIVO සමාගම ප්‍රධාන අනුග්‍රාහකයා විය.

TATA සමාගම මෙම ප්‍රධාන අනුග්‍රාහකත්වය සඳහා කොපමණ මුදලක් ගෙවීමට එකඟතාව පළ කර ඇත්දැයි යන්න මෙතෙක් අනාවරණය වී නැත.

මේ අතර 2022 වසරේ සිට IPL තරගාවලිය සඳහා අලුතින් කණ්ඩායම් දෙකක්ද එකතු වී තිබෙන අතර, තරග සංඛ්‍යාවද ඉහළ ගොස් තිබේ.

Visits: 197