ලැයිස්තුගත සමාගම් තුනක කොටස් ගනුදෙනු අද (10දා) සිට අත්හිටුවෙයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගම් තුනක කොටස් ගනුදෙනු අද (2022 වසරේ ජනවාරි 10) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගත් බව කොළඹ කොටස් හුවමාරුව දැනුම් දී සිටියි.

ඒ අනුව රේඩියන්ට් ජෙම්ස් ඉන්ටර්නැෂනල් පීඑල්සී (RGEM), බිම්පුත් ෆිනෑන්ස් පීඑල්සී (BLI) සහ අනිලානා හොටේල්ස් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පීඑල්සී (ALHP) යන සමාගම්හි කොටස් ගනුදෙනු මෙලෙස අත්හිටුවීමක් සිදුව තිබෙන බව කොළඹ කොටස් හුවමාරුව පවසයි.

රීති 7.5 (e) යටතේ 2021 මාර්තු 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා වාර්ෂික වාර්තා ඉදිරිපත් නොකිරීම යන ලැයිස්තුගතවීමේ රීතීන් වෙත දැක්විය යුතු අනුකූලතාව නොදැක්වීම මෙම තීරණය ගැනීමට හේතුව වී තිබේ.

මෙකී සමාගම් වෙත අදාළ අත්හිටුවීම සම්බන්ධයෙන් වන අනතුරු ඇඟවීමක් පසුගිය දෙසැම්බර් 30 වැනිදා නිකුත් කෙරුණු අතර, එවැනි අත්හිටුවීමක් වළක්වා ගැනීම සඳහා 2022 ජනවාරි 07 වැනිදා හෝ ඊට පෙර එම වාර්ෂික වාර්තා ඉදිරිපත් කළ යුතු බවට සඳහන් විය.

මෙහිදී අනිලානා හොටෙල්ස් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පීඑල්සී, බිම්පුත් ෆිනෑන්ස් පීඑල්සී සහ රේඩියන්ට් ජෙම්ස් ඉන්ටර්නැෂනල් පීඑල්සී යන සමාගම් තුනට අමතරව සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී (SFL) සමාගමටත් මෙම දැනුම් දීම සිදු කර තිබුණි.

කෙසේ වෙතත් සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී සමාගම පසුගිය ජනවාරි 04 වැනිදා සිය වාර්ෂික වාර්තාව කොළඹ කොටස් හුවමාරුව වෙත ඉදිරිපත් කර තිබී ඇත.

Views: 1327