සීමාසහිත සමූපකාර රක්ෂණ සමාගම කොටස් වෙළෙඳ පොළෙහි ගනුදෙනු කිරීම ඇරඹෙයි

සීමාසහිත සමූපකාර රක්ෂණ සමාගම (COOP-N-0000) ඊයේ (30දා) කොළඹ කොටස් හුවමරුවෙහිදී (CSE) ව්‍යාපාර කොටස් ගනුදෙනු ආරම්භ කිරීම සිදුවිය. ඒ අනුව එම ආයතනයෙහි කොටස් “බහුවිධ රක්ෂණාවරණ ” අංශය යටතේ කොළඹ කොටස් හුවමාරුවෙහි දිරි සවි පුවරුවේ ලැයිස්තුගත කර ඇත. සම්ප්‍රදායිකව සීනුව නාද කිරීමේ උත්සවයකින් මෙම විශේෂ අවස්ථාව සනිටුහන් විය.

සීමාසහිත සමූපකාර රක්ෂණ සමාගම නියෝජනය කරමින් සභාපති සුසිල් ශාන්ත වීරසේකර මහතා, උප සභාපති දර්ශන සමරවික්‍රම මහතා, තුසිත සමන් පාලිත මහතා, බැසිල් සේනාදීර මහතා, පී .බී .ජයරත්න මහතා, සී. පී. ජයසිංහ මහතා යන අධයක්ෂක මහත්වරුන් සහ උපදේශක ඩබ්ලිව්. එල් . ඒ. පිරිස් මහතා මෙම අවස්ථාවට එක්වූහ.

මෙම අවස්ථාවට කොළඹ කොටස් හුවමාරුව නියෝජනය කරමින් ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා සහ ප්‍රධාන නියාමන නිලධාරී රේණුක විජයවර්ධන මහතා සහභාගී විය.

කොළඹ කොටස් හුවමාරුවෙහි ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා උත්සව සභාව අමතමින් සීමාසහිත සමූපකාර රක්ෂණ සමාගම විසින් ව්‍යාපාර කොටස් ගනුදෙනු කිරීමට මුලපිරීම පිළිබඳව සිය සුභාශිංසන පළ කළේය.

“හුදෙක් නාගරික ජනතාවට පමණක් සීමා වී තිබු, රක්ෂණ සේවාව ගම් නියම් ගම් වෙත රැගෙන යමින් මෙරට රක්ෂණ කර්මාන්තයට වෙනම අර්ථකතනයක් ලබා දුන් සීමාසහිත සමුපකාර රක්ෂණ සමාගම මෙරට තෙවැනි විශාලතම සේවා ජාලයට හිමිකම් කියන අතර එවැනි ගෞරවනීය සමාගමක් අද දින කොළඹ කොටස් හුවමාරුවේදී කොටස් ගනුදෙනු කිරීම ඇරඹීම මෙන්ම සමාගමේ ව්‍යාපාරික අවශ්‍යතා පුළුල් කිරීම සඳහා ලැයිස්තුගත කිරීමට ගෙන ඇති පියවර ප්‍රශංසනීයයි.” යනුවෙන් පවසා තිබේ.

සීමාසහිත සමූපකාර රක්ෂණ සමාගමෙ හි සභාපති සුසිල් ශාන්ත වීරසේකර මහතා මෙහිදී අදහස් දක්වමින්, “සීමාසහිත සමූපකාර රක්ෂණ සමාගමට අද ඉතාම විශේෂ මෙන්ම ජයග්‍රාහී දිනයක් බව පැවසීමට කැමතියි. 1971 සිට 2021 තෙක් වසර 50ක් පුරාවට මෙම සමූපකාර ව්‍යාපාරය විවිධ අසීරුතා මධ්‍යයේ ඉදිරියට පැමිණ මෙරට ජනතාව වෙනුවෙන් සුවිශේෂ වූ මෙහෙවරක් ඉටු කරන ලදී. එකා සැමට – සැම එකාට යන සංකල්පය පෙරදැරිව එදා සිට අද දක්වාත් අද සිට හෙට දක්වාත් අප ආයතනය අප රටට, රටෙහි ජනතාවට විශාල වූ මෙහෙවරක් ඉටුකරයි. දිවයින පුරා මෙන්ම ජාත්‍යන්තර වශයෙන් විහිදුන අපගේ මෙම සමාගම නිවැරදි දිශාවට කළමනාකරණය කිරීමට මෙය මහඟු අවස්ථාවක් කොට සළකන්නෙමු” යනුවෙන් පවසා තිබේ.

මෙම අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් සුසිල් ශාන්ත වීරසේකර මහතා, මූලික කොටස් නිකුතුවේදී ලබාදුන් සහයෝගය වෙනුවෙන් එම සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය සහ උපදේශකවරුන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයටත්, කොළඹ කොටස් හුවමාරුවට, MBSL ආයතනයට සහ කොටස් හිමියන්ට තම විශේෂ ස්තුතිය පුද කළේය.

ලැයිස්තුගත කිරීමේ අත්දැකීම ගැන කතා කරමින්, ඔහු තවදුරටත් පැවසුවේ, “10%ක කොටස් නිකුත් කරමින් එහි ප්‍රතිලාභය දෙගුණයක් වන පරිදි සාර්ථකව මුලික කොටස් නිකුතුව අධි ඉල්ලුමකට ලක්වීම පිළිබඳව ඉමහත් සතුටට පත්වන” බවයි.

නගරයට සීමා වී තිබූ රක්ෂණ සේවාව, ග්‍රාමීය ප්‍රදේශයන් කරා රැගෙන යමින්, ජනතාවට සුබසෙත සැලසීමට ගත් පියවර ඔස්සේ මෙරට රක්ෂණ කර්මාන්තයට වෙනම අර්ථකතනයක් ලබා දුන් සීමාසහිත සමුපකාර රක්ෂණ සමාගම මෙරට තෙවැනි විශාලතම සේවා ජාලයට හිමිකම් කියන අතර, “එකා සැමට – සැම එකාට” යන සංකල්පය පෙරදැරිව දැරිය හැකි වාරික මුදලක් යටතේ රක්ෂණ සැලසුම් හඳුන්වාදීමද සිදුකරන ලදී.

Views: 156