DFCC බැංකුව ‘DFCC ආලෝකා’ ඉතුරුම් ගිණුම හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව, කාන්තාවන් වෙනුවෙන් ‘DFCC ආලෝකා’ නමින් විශේෂ ඉතුරුම් ගිණුමක් හඳුන්වා දී ඇතැයි පවසයි. මෙය කාන්තාවන්ට තම පෞද්ගලික හා ව්‍යාපාරික ජීවිත සාර්ථක කරගැනීමට අත්වැලක් වෙමින් රටේ සංවර්ධනයට පුළුල් දායකත්වයක් ලබාදීම ඉලක්ක කරගත් සුවිශේෂී ඉතුරුම් ගිණුමකි.

රු. 1,000/- ක ආරම්භක තැන්පතු මුදලකින් ආරම්භ කළ හැකි DFCC ආලෝකා ගිණුමේ ශේෂය සඳහා, වෙළඳපොළේ සාමාන්‍ය පොලී අනුපාතයට වඩා ඉහළ පොලියක්, එනම් 4.25% ක වාර්ෂික පොලියක් හිමි වේ. මීට අමතරව, කාන්තාවන්ට සහ ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු වල දියුණුවට උපකාරී වන ප්‍රතිලාභ රාශියක් මීට ඇතුළත් වී ඇත.

ලියාපදිංචි ගාස්තුව හෝ වාර්ෂික ගාස්තු නොමැති ඩෙබිට් කාඩ්පතක් හිමි වීම, ඕනෑම DFCC හෝ LankaPay ATM යන්ත්‍රයකින් නොමිලේ මුදල් ආපසු ලබාගත හැකි වීම, ඩිජිටල් බැංකුකරණ සේවාවන් නොමිලේ හිමි වීම සහ MTeller හරහා Home Banking සේවාව ලබාගත හැකි වීම මීට ඇතුළත් ය. ව්‍යාපාර අත්වැල යටතේ DFCC ආලෝකා ඉතුරුම් ගිණුම් හිමියන්ට කුඩා, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආරම්භ කිරීම හා කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් පුළුල් මට්ටමේ උපදේශන සේවාවන් සහ සුවිශේෂී ණය යෝජනා ක්‍රම ඇතුළු ප්‍රතිලාභ රාශියක් හිමි වේ.

එමෙන්ම සුවිශේෂී පොලී අනුපාත යටතේ පෞද්ගලික හා නිවාස ණය සහ උකස් සේවාවන්, ණය පිරිසැකසුම් ගාස්තු සඳහා විශේෂ වට්ටම්, ලියාපදිංචි ගාස්තුව හා ප්‍රථම වර්ෂයේ ගාස්තු රහිත අලුත්ම ක්‍රෙඩිට් කාඩ්පතක් සහ රු, 25,000/- ට වැඩි ගෙවීම් සඳහා මාස 6 ක පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම ඇතුළු ප්‍රතිලාභ රාශියක්ද DFCC ආලෝකා ඉතුරුම් ගිණුම් හිමියන් වෙත ලබාදීමට සැලසුම් කර තිබේ.

තවද ගිණුම් හිමියන්ට රුපියල් මිලියනයක උපරිමයකට යටත්ව, තම ගිණුමේ ශේෂයේ සාමාන්‍යය මෙන් 10 ගුණයක් දක්වා වටිනාකමකින් යුත් ජීවිත රක්ෂණාවරණයක් නොමිලේ හිමිවන අතර, Doc990 සේවාව ඔස්සේ තමන් සහ තම පවුලේ සාමාජිකයන් 3 දෙනෙකු සඳහා ඩිජිටල් සෞඛ්‍ය සේවාවන් නොමිලේ හිමිවනු ඇත. එපමණක් නොව, දරු උපත, ගිණුම් හිමියාගේ 21 වැනි උපන්දිනය, උපාධි ලබාගැනීම්, විවාහය සහ 25 වන විවාහ සංවත්සරය වැනි සුවිශේෂී සන්ධිස්ථාන වලදී ගිණුම් හිමියන්ට ත්‍යාග පිරිනැමීමටද කටයුතු කර තිබීම මෙහි තවත් විශේෂත්වයකි.
වයස අවුරුදු 18 හෝ ඊට වැඩි ඕනෑම ශ්‍රී ලාංකික කාන්තාවකට ළඟම පිහිටි DFCC බැංකු ශාඛාව වෙත පැමිණ DFCC ආලෝකා ගිණුමක් විවෘත කළ හැකි අතර, ගනුදෙනුකරුවන්ගේ පහසුව සඳහා පැය 24 පුරා සහය සේවාවක්ද ක්‍රියාත්මක වේ.

DFCC ආලෝකා ගිණුම සම්බන්ධයෙන් අදහස් දක්වමින්, DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා අදහස් දක්වමින්, “තම නිවෙස, ආර්ථිකය සහ සමස්තයක් ලෙස රටේ ඉදිරි ගමන තුළ කාන්තාවන් ඉටුකරන මෙහෙවර ඇගයීම සඳහා DFCC බැංකුව සෑම විටම උත්සාහ කරනවා. DFCC ආලෝකා ගිණුම ඔස්සේ අපගේ අරමුණ වන්නේ, කාන්තාවන්ට තම පෞද්ගලික හා ව්‍යාපාරික ඉලක්ක ළඟා කරගැනීම සඳහා සවිමත් අත්වැලක් සැපයීමයි. කාටත් සමාන අවස්ථා ලබාදෙන, තම පාර්ශ්වකරුවන් සියලුම දෙනා වෙනුවෙන් සමාජයීය වටිනාකම් නිර්මාණය කිරීමට කැපවී සිටින DFCC බැංකුව, තිරසාරත්වයේ නියමුවෙකු වශයෙන්, රටේ ආර්ථික හා සමාජයීය සුරක්ෂිතභාවය තහවුරු කිරීමට දරන උත්සාහයේ නවතම පියවර වන්නේ DFCC ආලෝකා ගිණුමයි.” යනුවෙන් පැවසීය.

Views: 23