දෙසැම්බරයේ මුල් දින 26දී සංචාරකයන් 69,941 දෙනෙකු පැමිණිලා

දෙසැම්බර් 01 වෙනිදා සිට දෙසැම්බර් 26 දක්වා ගතවූ දින 26ක කාලය තුළදී සංචාරකයන් 69,941 දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත අනුසාරයෙන් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

ඒ අනුව ජනවාරි 01 වැනිදා සිට වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 174,930 කි.

එහිදී පසුගිය  ඔක්තෝම්බර්, නොවැම්බර් මාස වල මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව පිළිවෙලින් 22,771 ක් සහ 44,294 ක් වේ.

විශේෂයෙන්ම පසුගිය දින 26 තුළ  ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ඕස්ට්‍රෙිලියාව, ඇමෙරිකාව, ප්‍රංශය, මාලදිවයින, යුක්රේනය හා කසකස්ථානය යන රටවලින් වැඩි වශයෙන් සංචාරකයන් පැමිණ ඇති බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

සීත සෘතුව ඉලක්ක කරගනිමින් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය සහ යුක්රේනය ආශ්‍රිතව සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් සංවිධානය කළ අතර පසුගිය දින 26 තූළ මෙරටට පැමිණි සංචාරකයන්ගෙන් වැඩි පිරිසක් මෙම රටවලින් පැමිණි තිබිම විශේෂත්වයක් බව ද ඇමතිවරයා පෙන්වා දෙයි.

ඒ අනුව රැසියානු සමුහාණ්ඩුවෙන් සංචාරකයන් 7,951 දෙනෙක් පැමිණ තිබේ. එක්සත් රාජධානියෙන් පැමිණ ඇති සංඛ්‍යාව 6,819 කි. ජර්මනියෙන් සංචාරකයන් 4,131 ක් මෙරටට පැමිණ තිබේ.

ප්‍රංශයෙන් සංචාරකයන් 2,313 ක්  පසුගිය දින 26 තුළ මෙරටට පැමිණ ඇති අතර යුක්රේනයෙන් සංචාරකයන් 2,054 දෙනෙුක පැමිණ ඇතැයි ඇමතිවරයා සදහන් කරයි.

රුසියාවේ  AIROFLOT, ප්‍රංශයේ AIR FRANCE, කසකස්ථානයේ AIR ASTANA වැනි ගුවන් සමාගම් මෙරට සමග සෘජු ගුවන් සේවා ආරම්භ කිරිමට ද රජය විසින් ක්‍රියාත්මක කළ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් හේතු වු බව ද ඇමතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

Visits: 106