මුරුසි දූපතේ තෙල්කාන්දුවක් සිදු කළ නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයාට මාස 20ක සිරදඩුවමක්

ඉන්දියානු සාගර‍යේ පිහිටි මුරුසි දූපත් ආසන්න කොරල් පර තීරයේ ගැටී එහිදී සාගරය වෙත ඉන්ධන කාන්දුවක් සිදු කළ MV Wakashio නෞකාවේ කපිතාන්වරයා වන ඉන්දියානු ජාතික සුනිල් කුමාර් නඩේෂ්වර් නමැත්තා සහ නෞකාවේ දෙවැන්නා ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකික ජාතිකයෙකුවන සුබෝධ ජනේන්ද්‍ර තිලකරත්න යන අයට එරෙහිව මාස 20ක සිරදඩුවමක් පැනවීමට මුරුසි මහේස්ත්‍රාත්වරයා තීරණය කර තිබේ.

මෙහිදී ඔවුන් දෙපළ නෞකාව අනාරක්ෂිතව යාත්‍රා කරමින් අනතුරට භාජනය කරවා ඇතැයි චෝදනා එල්ල වී ඇතැයි අධිකරණය තීරණය කර තිබේ. දැනට සිදු කර ඇති පරීක්ෂණවලට අනුව මෙම අනතුරට ලක්වන අවස්ථාව වන විට කපිතාන්වරයා ඇතුළු කණ්ඩායම නෞකාව මත මත්පැන් සාදයක් පවත්වමින් සිට ඇත.

මෙම සිදුවීම මුරුසි දූපත් ආශ්‍රිතව සිදු වූ දරුණුතම පාරිසරික විනාශය ලෙසින්ද සැලකෙයි. මෙම MV Wakashio නෞකාව ජපානයට අයත්, පැනමාවේ ධජය සහිතව යාත්‍රා කරමින් තිබූ නෞකාවකි. පසුගිය වසරේ ජූලි මාසයේදී මෙම නෞකාව එම මුහුදු තීරයේදී අනතුරට ලක් වූ අතර, ඉන් මුරුසි දූපතේ සාගර ජලය වෙත අහිතකර ඉන්ධන කාන්දුවීමක් සිදුවිය. ඒ හේතුවෙන් කඩොලාන, කොරල් ඇතුළුව පරිසර පද්ධති රැසක් වෙතම ඉන් හානි සිදුවිය.

මෙම MV Wakashio නෞකාව මුරුසි දූපත් ආශ්‍රිතව අනතුරට ලක්වන මොහොතේදී එය සිංගප්පූරුවේ සිට බ්‍රසීලය දක්වා ඉන්ධන ටොන් 3,800ක් සහ ඩීසල් ටොන් 200ක් ප්‍රවාහනය කරමින් සිට ඇත. එහෙත් එම ගමනේදී නෞකාව මුරුසි දූපත්හි නිරතදිග වෙරළට ඔබ්බෙන් පිහිටි මෙම කොරල්පර ප්‍රදේශය වෙත යාත්‍රා කරවීම නිසා මෙම අනතුර සිදුව ඇත.

මෙහිදී බොර තෙල් ටොන් 1,000කට අධික ප්‍රමාණයක් සාගරය වෙත කාන්දු වී ඇති අතර, ගලවා ගැනීමේ කණ්ඩායම් පැමිණ ඉතිරි තෙල් කාන්දුවීම වළක්වා තිබේ.

Views: 134