75 වසර සපුරන UNICEF යහපත් අනාගතයක් පිළිබඳව ළමා සහ තරුණ හඬ අවදි කරයි

UNICEF සංවිධානය ‘සෑම දරුවෙකුගේම අනාගතය ගැන නැවත සිතමු’ යන මැයෙන් සාකච්ඡාවක් පවත්වමින් පසුගියදා සිය 75 වැනි සංවත්සරය සහ ළමා හිමිකම් ප්‍රඥප්තියේ සංවත්සරය සනිටුහන් කළ බව පවසයි.

එහිදී එම සංවිධානයේ වසර ගණනාවක ප්‍රගතිය ආවර්ජනය කරමින් සහ දැනට ශ්‍රී ලංකාවේ ළමුන් සහ තරුණයින් මුහුණ දෙන දැවෙන ගැටලු ඉස්මතු කරමින් මෙම සැමරීම සිදු කර තිබේ.

.අධ්‍යාපනය, දේශගුණික විපර්යාස, මෘදු කුසලතා, මානසික සෞඛ්‍ය, හිංසනය අවසන් කිරීම සහ කොවිඩ් -19වසංගතය අතරතුර වෙනත් බලපෑම්  පිළිබඳ ඔවුන්ගේ අවශ්‍යතා සහ සැළකිලිමත්භාවය අවබෝධ කර ගැනීම සඳහා පසුගිය මාස කිහිපය තුළ UNICEF සංවිධානය විසින් වයස අවුරුදු 16 සිට වැඩිහිටි අවධිය දක්වා ළමයින් සහ තරුණයින් 3000කට ආසන්න පිරිසක් සමඟ සම්බන්ධ විය.

මෙම සංවාද UNICEF හි නව උපායමාර්ගික සැලැස්ම තුළ දරුවන්ගේ හා තරුණයින්ගේ අදහස් සහ මතවාද ඒකාබද්ධ කිරීම සහතික කිරීම සඳහා වන  සැලැස්මේ කොටසක් බවත් පවසයි.

ශ්‍රී ලංකාවේ වර්තමාන ළමා සහ තරුණ පරම්පරාව මුහුණ දෙන ප්‍රශ්න COVID-19 වසංගතය විසින් උග්‍ර කර ඇත. වෛරසය හේතුවෙන් ළමයින්ට සහ තරුණයින්ට සුළුබලපෑමක් ඇති වී ඇතත්, එහි ප්‍රතිඵල තුළින් වඩාත් ප්‍රබලව පීඩාවට පත් වන්නේ ඔවුන්ය. විරැකියාව හරහා පවුල්වලට ආදායම් මාර්ග අහිමි වීම, අධ්‍යාපනය කඩාකප්පල් වීම, සූරාකෑමට සහ අපයෝජනයන්ට නිරාවරණය වීම සහ වෙනත් කාරණා හරහා ළමයින් සහ තරුණයින් වඩා වැඩි වශයෙන් පීඩාවට ලක්වේ.

මෙම විද්වත් කථිකාවට සහභාගි වූයේ සංවාද සඳහා සම්බන්ධ වූ ළමුන්ගෙන් තිදෙනෙකි. ඔවුහු තම පුද්ගලික අත්දැකීම්, ඔවුන් මුහුණ දී ඇති සමහර ගැටළු සහ සෑම දරුවෙකු වෙනුවෙන්ම ඔවුන් නැවත සිතන දීප්තිමත් අනාගතය ගැන කතා කළහ.

20 හැවිරිදි භාග්‍යා අබේරත්න පදිංචිව සිටින්නේ රත්නපුරේය. දේශගුණික විපර්යාස සහ පරිසරය පිළිබඳ ගැටලු සම්බන්ධයෙන් සිය අදහස් දක්වමින් ඇය මෙසේ පැවසුවාය. ”ළමයින් සහ තරුණයන් මුහුණදෙන ප්‍රධානම ගැටළුවක් වන්නේ දේශගුණික විපර්යාසවල බලපෑමයි. ස්වාභාවික ආපදා වැඩිවීම දේශගුණික විපර්යාසවලට බලපාන අතර දරුවන්ගේ යහපැවැත්මට එය විනාශකාරී බලපෑමක් ඇති කරන අතර සෞඛ්‍ය සම්පන්න පරිසරයක් සඳහා ඉතා වැදගත් වන පරිසර පද්ධති විනාශ වෙමින් පවතී. අපට වෙනසක් ඇති කිරීම සඳහා නියෝජිතයන් විය හැකි නමුත් පරිසරය සහ දේශගුණික විපර්යාස වෙනුවෙන් පෙනී සිටින අපගේ හඬට ඉඩක් ලැබී නැත.”

මානසික සෞඛ්‍යය පිළිබඳ අවධානය යොමු කරමින්, මඩකලපුවේ පදිංචි 20 හැවිරිදි ජාතුජන් මහේන්ද්‍රන් සිය දිවි නසා ගැනීම පිළිබඳව ඔහුගේ පෞද්ගලික අත්දැකීම් ප්‍රකාශ කළේය. ”අපි මානසික සෞඛ්‍යය වටා ඇති අපකීර්තිය, නොදැනුවත්කම සහ සීමිත දැනුවත්භාවයඉවත් කළ යුතුයි. සෑම ප්‍රදේශයකම සිටින ළමුන්ගේ ජීවිතය COVID-19 විසින් උඩු යටිකුරු කර ඇති අතර ඉතා වැදගත් මානසික සෞඛ්‍ය සේවා කඩාකප්පල් කර හෝ නතර කරඇත.පාසල්වල උපදේශන සේවා ඇතුළුව ප්‍රතිකාර සඳහා ප්‍රවේශය නොමැතිකම,උපකාරක පද්ධති සීමා වීම සහ මානසික සෞඛ්‍යය සඳහා සුදුසුකම් ලත් වෘත්තිකයින් හිඟ වීම හරහා ළමයින් සහ තරුණයින් අවදානමට ලක් කර ඇත.”

වෙනස් කොට සැලකීම ඇතුළු සමාජ සංහිඳියාව පිළිබඳ ගැටලුව ඉස්මතු කරමින් කොළඹ පදිංචි 17 හැවිරිදි යුම්නා ශහීඩ් මෙසේ පැවසුවාය.”හිංසනයෙන්, සූරාකෑමෙන් සහ අපයෝජනයෙන් ආරක්ෂා වීමට මට අයිතියක් ඇත. එහෙත්, ළමයකු ලෙස මම පෞද්ගලිකව හිරිහැර කිරීම් සහ වෙනස්කම් කිරීම්වලට මුහුණ දී ඇත. අද සමාජ මාධ්‍ය පවා හිරිහැර කිරීම් පැතිරෙන අවකාශයකි. කුලය සහ පංතිය මත පදනම් වූ වෙනස් කොට සැලකීම්වලින්, සූරාකෑමෙන් සහ හිංසනයෙන්තොර ආරක්ෂිත පරිසරයක අප ජීවත් විය යුතුය. මේ ආරක්ෂාකාරීත්වය අර්බුදකාරී හෝ හදිසි අවස්ථා වලදී අහිමි නොවිය යුතු අතර, විශේෂයෙන්ම අපගේ පැවැත්ම, සංවර්ධනය සහ යහපැවැත්ම සඳහා එය ප්‍රවර්ධනය කළ යුතුය.”

ඔවුන්ගේ නිරීක්ෂණ සහ අත්දැකීම් මත පදනම්ව, මෙම ළමුන් සහ තරුණයන් තම ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා ඔවුන්ව සම්බන්ධ කර ගැනීමේ කඩිනම් අවශ්‍යතාවය පෙන්නුම් කර ඇත. රටේ අනාගතය වන ළමුන් හා තරුණ පරම්පරාව මුහුණ දෙන ගැටලු  රැසකට විසඳුම් සෙවීම සඳහා විවිධ මට්ටම්වල විසඳුම් මාලාවක් කථිකයන් තිදෙනා විසින් හඳුනා ගත්හ.

එක් එක් සාමාජිකයින් විසින් ඔවුන් විසින් මතු කරන ලද ගැටළු සම්බන්ධයෙන් අවශ්‍ය නිර්භීත සහ කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව කෙටියෙන් ඉදිරිපත්කර ඇත:

• භාග්‍යා – දේශගුණික විපර්යාසවල විනාශකාරී බලපෑම සහ විශේෂ පාරිසරික හා ජෛව විවිධත්ව පද්ධති විනාශ කිරීම පිළිබඳව දැනුම්වත් කිරීම මඟින් පරිසර දූෂණය අවම කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියාය. පරිසර සංරක්ෂණය සඳහා සමාජීය වගකීම් සහිත පුද්ගලයන් සහ ප්‍රජාවන් සහිත දේශයක අවශ්‍යතාවය පිළිබඳව ද ඇය ප්‍රකාශ කළාය.

• ජාතුජන් – අර්බුදයෙන් පීඩාවට පත් වූ ළමයින්ට සහ තරුණයන්ට කම්පනයට මුහුණ දීමට සහ ඔවුන්ගේ ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීමට උපකාර කිරීම සඳහා ගැටළු විසඳීම, සාකච්ඡා කිරීම, හැඟීම් කළමනාකරණය යනාදී ‘සමාජ-චිත්තවේගීය කුසලතා’ හෙවත් ‘ජීවන කුසලතා’ වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් පවතින අවශ්‍යතාවය පිළිබඳ ඔහු කතා කළේය. සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා වන රජයේ වියදම් ඉහළ නංවා ගුණාත්මක හා ප්‍රමාණවත් මානසික සෞඛ්‍ය සේවාවන් සඳහා ප්‍රවේශය වැඩි කරන ලෙස ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

• යුම්නා – විවිධ ජනවර්ග, සංස්කෘතීන්, පන්ති, ස්ත්‍රී පුරුෂ භාවය, හැකියාවන්, ආබාධ සහිත අය සහ විවිධ භාෂාමය හැකියාවන් අතර විවිධත්වය පිළිගැනීමපිළිබඳව ළමුන්ගේ සහ තරුණයින්ගේ අවබෝධය ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ඇය අවධානයට යොමු කළාය. පාසල් හා විශ්ව විද්‍යාල තුළ ළමුන්ට සහ තරුණයින්ට එරෙහි හිරිහැර කිරීම් සහ ඕනෑම ආකාරයක හිංසා පමුණුවීම් වැළැක්වීම සඳහා දැඩි නීතිමය පියවරයන් සහ ශුන්‍ය ඉවසීමේ ප්‍රතිපත්ති පැනවීමේ වැදගත්කම සම්බන්ධයෙන්ද ඇය අවධාරණය කළාය.

මෙම ළමයින් සහ තරුණයින් තිදෙනා ඉදිරිපත් කළ ගැටළුවලට අමතරව, ළමා සහ තරුණ සංවාද  අතරතුර ඉස්මතු කළ සැළකිලිමත් විය යුතු සහ වහාම පියවර ගත යුතු කරුණු අතර ජාතික මට්ටමේවිභාගවලට මුහුණදීමේ දීඅදාළ අධ්‍යයන පීඩනය, ඔවුන්ගේ අධ්‍යාපනය සඳහා තාක්‍ෂණය සහ ඩිජිටල් මෙවලම් සඳහා ප්‍රවේශය නොමැතිකම හේතුවෙන් එය අතහැර දැමීමේ සහ කොන් වීමේ අවදානම, COVID-19 විසින් ගෙන එන මානසික සෞඛ්‍ය පීඩා, ආදායම් සහ සම්පත් හිඟකම හේතුවෙන් ආහාර හිඟතාවයට මුහුණ දීම සහ රැකියා පුහුණුව ලබා ගන්නා විට ප්‍රමාණවත් සමාජ ආරක්ෂණ වැඩසටහන් නොමැති වීම ඇතුළත් විය.

බලාපොරොත්තුව සහ සාමය සඳහා වූ ජෝන් ලෙනන් ගේ ගීතයක් වන ‘IMAGINE’ සෑම දරුවෙකුටම වඩා හොඳ අනාගතයක් උදෙසා ගෝලීය ව්‍යාපාරයක් දිරිගැන්වීම සඳහා UNICEF දියත් කළ #IMAGINE වැඩසටහනේ අංගයක් විය.

අද ‘සෑම දරුවෙකුගේම අනාගතය ගැන නැවත සිතමු’ යන තේමාව මතක් කර දීමට සහ අපව දිරිමත් කිරීමට 13 හැවිරිදි මනෙත්‍රී වල්පොල ගායන ශිල්පිනිය විසින් සෑම දරුවෙකුවෙනුවෙන්ම බලා පොරොත්තුවේ සංකේතයක් දල්වමින්එම ගීතය ඇගේම ස්වරයෙන් ගායනා කළාය.

Views: 34