ආගමන හා විගමන දෙපාර්තුමේන්තුවට මහජන බැංකුවේ සේවා කවුළුවක්

සංක්‍රමණික ශ්‍රමිකයින්ට වඩා විධිමත්ව හා අපහසුතාවයකින් තොරව බැංකුකරණ පහුසකම් පිරිනැමීමේ අරමුණින් මහජන බැංකුවේ සේවා කවුළුවක් බත්තරමුල්ල, සුහුරුපාය, ආගමන හා විගමන දෙපාර්තුමේන්තු පරිශ්‍රයේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරුණු බව පවසයි.

මේ තුළින් සංක්‍රමණික ශ්‍රමිකයින්ට රුපියල් හා විදේශ මුදල් ගිණුම් විවෘත කිරීම, විදේශ මුදල් හුවමාරු කිරීම වැනි සේවාවන් රැසක් ලබාගත හැක.

ශ්‍රී ලාංකික විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ ශ්‍රී ලංකාවේ ආර්ථිකය නංවාලීමේලා අත්‍යවශ්‍ය සාධකයකි.  සංක්‍රමණිකයින් විසින් නව විදේශ ගමන් බලපත්‍ර ලබාගන්නා හෝ අලුත් කරගන්නා  අවස්ථාවේදීම විධිමත් හා ආරක්ෂක ප්‍රේෂණ මාර්ග පිළිබඳව දැනුම්වත් කිරීම සහ ඒ සඳහා යොමු කරවීමෙන් රටේ විදෙස් සංචිත ඉහළ නැංවීම සඳහා වන මහ බැංකුවේ අඛණ්ඩ උත්සාහයට සහයෝගය පිරිනැමීම මෙහි අරමුණයි.

මේ පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා, “බොහෝ ශ්‍රී ලාංකිකයන් රැකියා සඳහා විදේශගත වන අතර, ඔවුන් දුක් මහන්සියෙන් උපයන මුදල් ශ්‍රී ලංකාවට එවනවා. ඇතැම් විට ඔවුන්ට මුදල් එවීමේදි විවිධ ගැටලුකාරී තත්ත්වයන්ට වලට මුහුණ දීමට සිදුවනවා. ඒ නිසා අපි හිතුවා විදේශ ගමන් බලපත්‍ර කාර්යාලයෙන් විදේශ ගමන් බලපත්‍ර ලබා ගන්නා නිසා එම ස්ථානයේදීම ඔවුන්ට ගිණුමක් ආරම්භ කිරීමට ඔවුන්ට අවස්ථාව සලසා දිය යුතුයි කියලා. එවිට ඔවුන්ගේ පවුල් වෙත වඩාත් පහසුවෙන් සහ විශ්වාසයෙන් මුදල් එවිය හැකියි. සතියක් ඇතුළදී මෙම කවුන්ටර ස්ථාපිත කිරීම වෙනුවෙන් ආගමන විගමන පාලකවරයා, ඔහුගේ කාර්ය මණ්ඩලය, මහ බැංකුවේ සහ අනෙකුත් අදාළ බැංකුවල නිලධාරීන් උනන්දුවෙන් කටයුතු කළා. මින් පැහැදිලි වන්නේ රාජ්‍ය ආයතන හා පෞද්ගලික අංශය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමෙන් රටේ සහ ජනතාවගේ යහපත වෙනුවෙන් ඕනෑම කාර්යයක් කඩිනමින් ඉටු කළ හැකි බවයි. වෙහෙස මහන්සි වී වැඩ කරන අපගේ සංක්‍රමණික ශ්‍රම බලකාය මෙහි පහසුව සහ විශ්වසනීයත්වය භුක්ති විඳිනු ඇති. එහි ප්‍රතිඵලයක් ලෙස විදේශ මුදල් වැඩි ප්‍රමාණයක් රට තුළට ගලා එන අතර, ඉන් සමස්ත ජාතියට ප්‍රතිලාභ ලැබෙනු ඇති.” යනුවෙන් පැවසීය.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ කොළඹ පිටත ප්‍රාදේශීය කළමනාකාර ලාල් පීරිස්, බත්තරමුල්ල ශාඛා කළමනාකාර ලසන්ත රණතුංග යන මහත්වරුන් ඇතු`ඵ බැංකු කාර්ය මණ්ඩලය හා ගනුදෙනුකරුවන් සහභාගි වූහ.

Visits: 51