අර්බුදයට ලක්ව ඇති මූල්‍ය සමාගම් තුනක් අත්පත් කරගැනීමේ LOLC සූදානමක්?

අද වනවිට අර්බුදයට ලක්ව ඇති මෙරට බැංකු නොවන මූල්‍ය සමාගම් තුනක් අත්පත් කරගැනීම හෝ ඒකාබද්ධ කර ගැනීම සම්බන්ධයෙන් LOLC සමූහය සිය අවධානය යොමු කර ඇතැයි ආරංචි මාර්ග ඔස්සේ සඳහන් වන බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

එහිදී මූලිකවම මහ බැංකුව විසින් මෙම බැංකු නොවන මූල්‍ය සමාගම් සම්බන්ධයෙන් පවත්වා ගත යුතු අවම ප්‍රාග්ධන අවශ්‍යතාවන් අදාළ කාලසීමාවට පෙර සපුරාගත නොහැකි මූල්‍ය සමාගම් තුනක් වෙත මෙලෙස LOLC අවධානය යොමු කර තිබෙන බව සඳහන් වී තිබේ.

මෙම වාර්තා සඳහන් කරන ආකාරයට මෙම අර්බුදයට ලක්ව ඇති මූල්‍ය සමාගම් තුන අතර සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී සහ බිම්පුත් ෆිනෑන්ස් යන සමාගම් ඇතුළත් වී ඇතැයිද පැවසෙයි.

මේ අතරින් සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී සමාගම LOLC සමූහයේ කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම මගින් අත්පත් කරගැනීම හෝ ඒකාබද්ධ කරගැනීමක් පිළිබඳව යම් කටකතාවක් පවතින අද දිනයේදී පළ කෙරුණු ‘ද මෝර්නිං‘ පුවත්පතද පුවතක් පළ කර තිබුණි.

එහිදී ආසන්න ගනුදෙනු දින දෙකක කාලයකදී සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ කොටස් වටිනාකම් ඉහළ යාම පිටුපස මෙම අත්පත්කරගැනීම හෝ ඒකාබද්ධ කරගැනීමේ කටකතාව හේතුවන්නට ඇතැයිද පුවත්පත මෙහිදී සඳහන් කර ඇත.

කෙසේ වෙතත් අද පෙරවරුවේදී මෙම පුවත සම්බන්ධයෙන් කොළඹ කොටස් හුවමාරුව වෙත අදහස් දැක්වීමක් සිදු කර තිබූ සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී සමාගම, එම පුවත සිය සමාගමේ මූලිකත්වයෙන් ප්‍රසිද්ධියට පත් කරවූවක් නොවන බවත් සඳහන් කර තිබේ.

එසේම දැනට සිංහපුත්‍ර සමාගම තුළ පවතින අර්බුද නිරාකරණය කිරීම සඳහා පසුගිය දෙසැම්බර් 06 වැනිදා සමාගම මගින් ප්‍රසිද්ධියට පත් කළ ක්‍රමවේදවල කිසිදු වෙනසක් මෙතෙක් සිදු කර නැතැයිද සමාගම පවසයි.

පුවත්පත පවසන ආකාරයට සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී සමාගම 2022 මූල්‍ය වර්ෂයේ දෙවැනි කාර්තුව වෙනුවෙන් මේ දක්වා රුපියල් මිලියන 3ක අලාභයක් වාර්තා කර ඇති අතර, මෙය එම සමාගම පිට පිට හයවැනි කාර්තුවත් අලාභයන් වාර්තා කළ අවස්ථාවක් ලෙසද සඳහන්ව තිබේ.

එසේම මහ බැංකුව මගින් නිකුත් කර ඇති අවම මූලික ප්‍රාග්ධන අවශ්‍යතාව වන රුපියල් බිලියන 1.5ක් සපුරා ගැනීම සඳහාත් එම සමාගම මෙතෙක් සාර්ථක වී නැතැයිද සඳහන් වෙයි.

මේ අතර පසුගිය දෙසැම්බර් 06 වැනිදා එම සමාගම සිදු කළ නිවේදනයකට අනුවද මහ බැංකුවෙහි මෙම මූලික ප්‍රාග්ධන අවශ්‍යතාවන් සපුරා ගැනීම සඳහා සුවිශේෂිත සමාගමක් සමගින් සාකච්ඡාවකට පිවිස තිබෙන බවත්, එම සමාගමෙන් ඒ සඳහා ලංසුවක් ඉදිරිපත් වන තෙක් බලාපොරොත්තුව සිටින බවත් පවසා තිබුණි.

සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ වැඩිම කොටස් හිමිකාරීත්වය වන 54.88% සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් වෙත හිමිව තිබේ. එසේම දෙවැනි විශාලතම කොටස් හිමිකරුවා ලෙස බිම්පුත් ෆිනෑන්ස් පීඑල්සී සමාගමට එහි 19.33%ක කොටස් හිමිකාරිත්වයක් හිමිය.

මේ අතර අද දිනයේ කොළඹ කොටස් හුවමාරුවහි ගනුදෙනු ආරම්භවී පෙරවරු 11.30 වනවිට සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 23ක් දක්වා පෙර දිනයට සාපේක්ෂව ශත 30කින් ඉහළ ගිය අතර, පෙරවරු 11.35 වන විට එම වටිනාකම් රුපියල් 21.40ක් දක්වා පෙර දිනයට සාපේක්ෂව රුපියල් 1.30කින් එනම් 5.73%කින් පහත වැටීම සිදුවිය.

Views: 1100