ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) නව සභාපති ලෙස රාජා එදිරිසූරිය මහතා පත් කරයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති ලෙස කීර්තිමත් සිවිල් ඉංජිනේරුවරයෙකු හා ඉහල පෙෙළ් රාජ්‍යතාන්ත්‍රිකයෙකු  වන රාජා එදිරිසූරිය මහතා පත් කර ඇතැයි එම මණ්ඩලය පවසයි. ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම නව පත් කිරිම සිදු කර තිබේ.  

ඒ මහතා සිය නව තනතුරේ වැඩ ආරම්භ කිරීම 2021.12.15 දින කොළඹ ලෝක වෙළද මධ්‍යස්ථානයේ පිහිටි කාර්යාලයේ දී සිදු කිරීමට නියමිතව ඇතැයිද ආයෝජන මණ්ඩලය පවසයි.

එදිරිසූරිය මහතා මේ වන වීට කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියේ විධායක ව්‍යාපෘති කළමනාකරණ අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කරයි.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සංජය මොහොට්ටාල මහතා ඇතුළුව එහි ප්‍රධානින් කිහිප දෙනෙකු පසුගියදා සිය ධුරවලින් ඉල්ලා අස්විය. පසුව ජනාධිපතිවරයා විසින් එම ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කළත්, සභාපතිවරයා ඇතුළු එම නිලධාරීන් අස්වීමට තීරණය කර තිබුණි. එහිදී එම මණ්ඩලයේ සේවකයන් සභාපතිවරයා ඇතුළු නිලධාරීන්ට එරෙහිව විරෝධය දැක්වීමත් ඊට හේතුවිය. ඒ අනුව හිස් වූ ධුරය සඳහා මෙම නව පත් කිරිම සිදුකර තිබේ.

වෘත්තියෙන් සිවිල් ඉංජිනේරුවෙකු වන එදිරිසූරිය මහතා  ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සි හි රට්ගර්ස් (Rutgers University)විශ්ව විද්‍යාලයෙන් ව්‍යුහාත්මක ඉංජිනේරු විද්‍යාව පිළිබඳ පළමු පංතියේ විශේෂ  උපාධියක්  ලබා ඇත. කැලිෆෝනියාවේ ලා වර්න්  (University of La Verne,) විශ්ව විද්‍යාලයේ රාජ්‍ය පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද ලබා ගෙන ඇති එදිරිසූරිය මහතා  කැලිෆෝනියාවේ වෘත්තීය වශයෙන් ලියාපදිංචි සිවිල් ඉංජිනේරුවෙකු ලෙස, කැලිෆෝනියාවේ චිනෝ (city of Chino, California) නගරය සමඟ වසර 16 කට ආසන්න කාලයක් පරිපාලක සහ නගර ඉංජිනේරු යන කීර්තිමත් තනතුරු  දරා ඇත.

එදිරිසූරිය මහතා 2006 වසරේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති ලෙසත් ,2009 වසරේ මිහින් ලංකා ගුවන් සමාගමේ සභාපතිද ලෙස කටයුතු කර ඇත.

මීට අමතරව  බ්‍රසීලය, පේරු, ආර්ජන්ටිනාව, චිලී, කොලොම්බියාව සහ සූරිනාම් යන රටවල ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද රාජා එදිරිසූරිය මහතා කටයුතු කර ඇත.

Views: 165