කැබිනට් සාකච්ඡාවට එන්නේ IMF ගැන කතා කිරීමට නොවේ – මහ බැංකු අධිපති කියයි

අද දිනයේදී පැවැත්වෙන කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී IMF පහසුකම් පිළිබඳ කතා කිරීම සඳහා මහ බැංකු අධිපතිවරයා කැඳවා තිබෙන බවට පළ වන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

අද පෙරවරුවේදී සිය ට්විටර් ගිණුම හරහා පණිවුඩයක් තබමින් ඔහු මේ බව පවසා තිබේ.

මෙම මාධ්‍ය වාර්තාවලට අනුව මහ බැංකු අධිපති කබ්රාල් මහතාට අමතරව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතාද අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල සාකච්ඡාව වෙත කැඳවා තිබේ. එහිදී මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කැඳවා ඇත්තේ යුගදනවි බලාගාරයේ 40%ක කොටස් ප්‍රතිශතයක් ඇමෙරිකාවේ නිව් ෆෝට්ට්‍රස් සමාගම වෙත අලෙවි කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය වෙත වැඩිදුර කරුණු  අනාවරණය කිරිම වෙනුවෙන් බව පැවසෙයි.

මේ අතර රටෙහි වත්මන් විදේශ මුදල් සංචිත පිළිබඳව අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරිම සඳහා මහ බැංකු අධිපතිවරයා ඊට කැඳවා තිබෙන බවද සඳහන් වෙයි.

“විපක්ෂයේ දේශපාලනඥයන් විසින් නිර්මාණය කරපු මාධ්‍ය වාර්තාවලට අනුව සඳහන් කර තිබෙනවා මහ බැංකු අධිපතිවරයා කැබිනට් මණ්ඩලය වෙත කැඳවන්නේ ජාත්‍යන්තර මූල්‍යආයතනය (IMF) වෙතින් සහයෝගිතාවක් ලබා ගැනීම සඳහා වන සාකච්ඡාවකට කියලා. ඒත් එය සම්පූර්ණයෙන්ම අසත්‍ය කාරණාවක්. මෙය රට තුළ අස්ථාවරත්වය ඇති කිරිම සඳහා ඔවුන් ගෙන යන වැඩපිළිවෙළේ තවත් අවස්ථාවක්.” යනුවෙන් මහ බැංකු අධිපතිවරයා සිය ට්විටර් ගිණූමේ සඳහන් කර තිබේ.

පසුගිය නොවැම්බර් මාසය වනවිට ශ්‍රී ලංකාවේ විදේශ මුදල් සංචිතයේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 1.58ක් මට්ටමක් දක්වා පහත වැටී ඇතැයි මහ බැංකුව විසින්ම අනාවරණය කෙරිණි.

Views: 88