සියලු කොටස් මිල දර්ශක අගයෙහි ගණනය කිරීමේ ක්‍රමවේදය සංශෝධනය කෙරේ

කොළඹ කොටස් හුවමාරුවෙහි ක්‍රියාත්මක සියලු කොටස් මිල දර්ශක අගය ගණනය කිරීමේදී මෙතෙක් පැවති පූර්ණ වෙළෙඳපොළ ප්‍රාග්ධන පදනම වෙනුවට චලිත වෙළෙඳපොළ ප්‍රාග්ධන (Float Adjusted Market Capitalization) පදනම ආදේශ කිරීමට නොවැම්බර් මස 15 වන දින පැවති අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී අනුමැතිය හිමි වූ බව කොටස් හුවමාරුව පවසයි.

ඒ අනුව මෙය සියලුම අංශවල උපදේශනය සහිතව 2022 ජනවාරි මස සිට ක්‍රියාත්මක වීමට නියමිතව පවතින බවත් මෙම නව ක්‍රමවේදය හා බලපැවැත්වෙන දිනය කොළඹ කොටස් හුවමාරුවෙහි වෙබ් අඩවියෙන් දැනුම් දෙනු ලැබෙනු ඇති බවත් වැඩිදුරටත් සඳහන් වෙයි.

කොළඹ කොටස් හුවමාරුව එහි මූලික මිනුම් ලකුණ ලෙස සැලකෙන සියලු කොටස් මිල දර්ශක අගය හා එහි ප්‍රතිලාභ දර්ශකය ගණනය කරනු ලබයි. මෙතෙක් කාලයක් මෙම ගණනය කිරීමට බැර තැබීම සඳහා එහි ලැයිස්තුගත සමාගම් වල නිකුත් කරන ලද මුළු කොටස් ප්‍රමාණය භාවිත කළ අතර මහජනයා සතුව පවතින කොටස් ප්‍රතිශතය පිළිබඳව සැලකිල්ලට ලක් නොවුනි.

එමෙන්ම මේ සඳහා සියලුම ලැයිස්තුගත ඡන්ද බලය හිමි කොටස් හා හිමි නොවන කොටස් සියල්ලෙහිම මිල වෙනස් වීම හරහා වන දර්ශකයට බලපෑම අදාළ සුරැකුම්පතෙහි මුළු වෙළෙඳපොළ ප්‍රාග්ධනය මත පදනම් විය.

“කෙසේ නමුත් වර්තමාන ක්‍රමවෙදය තුලදී සුරැකුම්පත් වල ද්‍රවශීලතාව හා ගනුදෙනුවීම සැලකිල්ලට ලක් නොවේ. මේ නිසා වර්තමානයේදී සියලු කොටස් මිල දර්ශකය හරහා ආයෝජකයින්ගේ සැබෑ මිල උච්චාවචනයන් නිරුපනය නොවන අතර ඉතාම පහල මහජන අයිතියක් (Public Holding) සතුව ඇති සමාගම් වල ගනුදෙනු වලින් පවා දර්ශකය ස්වභාවය තීරණය වේ. මේ නිසා වෙනත් කොටස් හුවමාරුන් වලත් භාවිත වන පරිදි, නිකුත් කරන ලද කොටස් වලින් ගනුදෙනු කළහැකි මෙන්ම චලිත කොටස සැලකිල්ලට ගෙන මිල දර්ශකය ගණනය කිරීමේ විකල්ප ක්‍රමවේදය හඳුන්වා දෙනු ලැබේ.” කොළඹ කොටස් හුවමාරුව පවසයි.

කොළඹ කොටස් හුවමාරුව මෙම සංශෝධන ක්‍රියාවලිය 2021 ජූලි මස අරඹන ලද අතර සාමාන්‍යයෙන් මෙවැනි ක්‍රියාවලියකදී භාවිත කරනු ලබන ජාත්‍යන්තර ප්‍රමිතීන් සියල්ල අනුගමනය කරනු ලබයි. සියලු පසු පරීක්ෂණ හරහා කිසිදු අකාරයේ වෙනස්කමක් හෝ බලපෑමක් මිල දර්ශකයට නොවීමට වගබලා ගැනීම මෙහි අරමුනයි. මෙම පර්යේෂණ ක්‍රියාවලිය 2013 දෙසැම්බර් දක්වා දිව යන බවත් පවසයි.

මීට අමතරව කොළඹ කොටස් හුවමාරුව ගණනය කරනු ලබන අනෙකුත් දර්ශක වන සියලු ප්‍රතිලාභ දර්ශකය මෙන්ම Standard & Poors ගණනය කරනු ලබන GICS ක්ෂේත්‍ර දර්ශක සඳහාද අවශ්‍ය පර්යේෂණ හා අත්හදා බැලීම් සාර්ථක වූ පසු මෙම නව ක්‍රමවේදය හඳුන්වාදීමට නියමිතව තිබේ.

මෙම නව හඳුන්වාදීම පිළිබඳව අදහස් පළකරමින්, කොළඹ කොටස් හුවමාරුවෙහි සභාපති දුමිත් ප්‍රනාන්දු මහතා කියා සිටියේ කොළඹ කොටස් හුවමාරුවෙහි ඉහල පාලනාධිකාරිය ලෙස මෙවැනි වෙනස්කම් කිරීමේදී ආයෝජකයින් හා අනෙකුත් වෙළෙඳපොළ සහභාගීකරුවන් කෙරෙහි විශාල සැලකිල්ලක් දැක්විය යුතු බවත්, වෙළෙඳපොළ ක්‍රියාකරු ලෙස මෙවැනි කර්තව්‍යන් ඉතාම සංයමයෙන් කලයුතු බවත්ය. එමෙන්ම පසුගිය මාස කිහිපය පුරාවටම කරන ලද පසු විපරම් නිසා මෙම කර්තව්‍ය සාර්ථක වන බවට ඒ මහතා විශ්වාසය පළකළේය.

නව ගණනය කිරීමේ ක්‍රමවේදය ආරම්භ වන දිනදී සියලු කොටස් මිල දර්ශක අගයෙහි පවත්නා අගයන් පෙරදින සමාප්ති අගයට අනුරූපව එලෙසම පවතින අතර නව ක්‍රමවේදය හඳුන්වාදීම නිසා හදිසි වෙනස්වීමක් අපේක්ෂා නොකෙරෙන බවත් කොළඹ කොටස් හුවමාරුව වැඩිදුරටත් සඳහන් කරයි.

Views: 1053