“ඇඟළුම් කර්මාන්තය අර්බුදයෙන් මුදවා ගැනීමට, SME ව්‍යපාර පද්ධතිය ගැන නැවත සිතන්න”

කඩිසරකම, අනුවර්තනය වීමේ හැකියාව සහ ඔරොත්තු දීමේ හැකියාව ඇඟළුම් කර්මාන්තයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ලක්ෂණ වේ. මෙය එම හැකියාව තවදුරටත් ගොඩනඟා ගැනීමට  කාලය බව ශ‍්‍රී ලංකා ඇඟළුම් අපනයනකරුවන්ගේ මණ්ඩලයේ භාණ්ඩාගාරික සහ Estilo ඇපරල් හි කළමනාකාර අධ්‍යක්ෂ රන්ත තිසේරා මහතා පවසයි.

ශ‍්‍රී ලංකාවේ කුඩා පරිමාණ ව්‍යාපාරයක් යනු සැලකිය යුතු සාධකයකි. සංඛ්‍යාත්මක දත්ත ඒ පිළිබඳව හෙලිදරවු කරයි. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, එහි 2013/14 වාර්ෂික ආර්ථික සංගණනයේ දී, සියලූම ව්‍යාපාරික ආයතනවලින් 99% කට වැඩි ප‍්‍රමාණයක් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යවසායන් (MSMEs) බව සොයා ගෙන ඇත.

ඔවුන් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 52 ක් සහ පෞද්ගලික අංශයේ රැකියාවලින් සියයට 42 ක් සඳහා දායකත්වය ලබා දෙයි. වෙනත් වචනවලින් කිවහොත් ඔවුන් මෙරට ආර්ථිකයේ කොඳු නාරටියයි. මෙරට ස්ථාපිත කර ඇති මිලියන 1 කට වැඩි ව්‍යාපාරික ආයතනවලින් 92% ක් ක්ෂුද්‍ර ව්‍යවසායයන් නියෝජනය කරයි.

මෙම දත්ත දෙස බැලීමේදී තනතුර, ප‍්‍රමුඛතා සහ ප‍්‍රතිපත්ති පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ලබා ගත හැක. ශ‍්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 27% කට ආසන්න ප‍්‍රමාණයක් දායකත්වය ලබා දෙන්නේ ඇඟළුම් කර්මාන්තයයි. ශ‍්‍රම බලකායෙන් 28% ක් පමණ සමස්තයක් වශයෙන් ඇඟළුම් කර්මාන්තයේ වැඩ කරන අතර ඔවුන්ගෙන් වැඩි ප‍්‍රමාණයක් සේවය කරන්නේ නිෂ්පාදන අංශයේ ය.

2018 වාර්ෂික කර්මාන්ත සමීක්ෂණය (ASI) ක්ෂේත‍්‍ර 28 ක් ආවරණය කර තිබූ අතර එයින් 91% නිෂ්පාදන අංශයට අයත් විය. ආහාර සැකසීම සහ ඇඟළුම් යනු (පිළිවෙලින් 2017 දී රුපියල් ටි‍්‍රලියන 1.48 සහ රුපියල් ටි‍්‍රලියන 1.1) මෙරට විශාලතම නිෂ්පාදනයන් සිදු කරන අංශ දෙකක් වන අතර රැකියා පිළිවෙලින් 333,000ක් සහ 730,000ක් සංඛ්‍යාවක් රැකියාවල නිරත වේ. කෙසේවෙතත්, මෙම සංඛ්‍යාමය දත්තවලට ක්ෂුද්‍ර ව්‍යවසායන් සැලකිය යුතු කොටසක් ඇතුළත් වේ.

මෙම ලිපිය මගින් අවධානය යොමු කරන ඇඟළුම් කර්මාන්තය 2019 දී ඇස්තමේන්තු කර තිබූ ඩොලර් බිලියන 5.2 ක වටිනාකමින් යුතු වෙළඳ භාණ්ඩ අපනයනයෙන් අඩකට ආසන්න ප‍්‍රමාණයක් සඳහා දායකත්වය ලබා දී ඇත. මේ සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන අතර එයින් 80%ක්ම ඇඟළුම් සැපයුම් දාමයේ හා විශාල ඇඟළුම් නිෂ්පාදකයින්ගේ උප කොන්ත‍්‍රාත්තුවල වෙන් කළ නොහැකි කොටසක් වේ.

2020 මැයි මාසයේදී කොවිඞ් -19 වසංගතයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට එල්ල කළ බලපෑම පිළිබඳව සිදු කළ වාර්තාවක් මගින් පෙන්වා දෙන්නේ 300,000 ත් 400,000 ත් අතර ඇඟළුම් අංශයේ සේවකයින් සංඛ්‍යාවෙන් 20,000 ක් ශ‍්‍රී ලංකා ඇඟළුම් අපනයනකරුවන්ගේ සංගමයේ සාමාජිකයන්ට අයත් කර්මාන්තශාලාවල සේවය කරනු ලබන බවයි. මෙම සංඛ්‍යාව 2013-14 සිට ASI 2018 වසරවල ඇස්තමේන්තු වලට බොහෝ දුරට අනුකූල වේ. සරලව කිවහොත් ඇඟළුම් ක්ෂේත‍්‍රයේ ඇති SMEs යනු ගෝලීය සාර්ථකත්වයේ තීරණාත්මක සාධකයක් ලෙස පෙන්වා දිය හැකිය.

වසංගතය ඇතැම් ව්‍යාපාර දැඩි වෙනසකට ලක් කළ අතර ඒවායින් බොහොමයක් තවමත් පීඩා විඳිමින් සිටී. නමුත් සුළු හා මධ්‍ය පරිමාණ ඇඟළුම් ව්‍යවසායකයින් ඉක්මනින් මෙම තත්වයට හැඩ ගැසුනු අතර උදාහරණයක් ලෙස නිෂ්පාදන ක‍්‍රියාවලීන් වෙනස් වෙමින් මුව ආවරණ සහ පුද්ගලික ආරක්ෂක උපකරණ කට්ටල (PPE) ආදිය නිෂ්පාදනය කළ අතර විවිධ අවශ්‍යතා සපුරාලීම සඳහා නව තාක්ෂණයන් භාවිතා කිරීමට ද හැඩ ගැසෙමින් සිටී.

යුරෝපයේ බොහෝ රටවලට සමාන ආකෘති තිබුණද, ගෝලීය වශයෙන් වඩාත්ම ප‍්‍රසිද්ධ සහ සාර්ථක කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය පද්ධතිය වන්නේ ජර්මනියේ ප‍්‍රසිද්ධියට පත් වූ ආකෘතිය වන Mittelstand වේ. ‘Mittelstand’ යනු ව්‍යාපාරික අර්ථයෙන් ‘මධ්‍යම පන්තිය’ යන්නයි; නමුත් එහි කාර්යසාධනය සහ හැකියාවන් ජාත්‍යන්තර මට්ටමට අනුගතය.

ජර්මානු සමාගම්වලින් 99% ක් Mittelstand සමාගම් ය; ඔවුන් එරට අපනයනයෙන් 68% ක් නියෝජනය කරයි. 80% ක් පමණ B2B සමාගම් වන අතර ඔවුන්ගේ ගනුදෙනුකරුවන් ගෝලීය වශයෙන් ප‍්‍රමුඛ සමාගම් වන අතර ඔවුන්ගේම වෙළඳ නාමයන් වේ. Mittelstand සමාගමක ආදායම පවුම් මිලියන 50 ක් වන අතර සේවකයින් 499 කටත් වඩා අඩු ය (මිලියන 250-750 ක ආදායමක් ඇති ලාංකික සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා සසඳන විට සේවකයින් 300 ට අඩු).

එහි හුරුපුරුදු බවක් පෙනෙන්නට ඇත. ශ‍්‍රී ලංකාවේ SMEs ඇඟළුම් ව්‍යවසායකයින් Mittelstand සමාගම් හා බොහෝ සමානකම් පවතී. බොහෝ ඒවා පවුල් සංස්කෘතියක් සහිතව පවුල විසින් මෙහෙයවනු ලබන අතර නවෝත්පාදන හා අනුවර්තනය වීමේ හැකියාවෙන් යුක්ත ය.

බංග්ලාදේශය, ශ‍්‍රී ලංකාව සහ තුර්කිය යන රටවල ඇඟළුම් ක්ෂේත‍්‍රයන් සංසන්දනය කිරීමේදී ලෝක බැංකු ගෝලීය වටිනාකම් දාම විශ්ලේෂණ වාර්තාවකින් සොයා ගෙන ඇත්තේ ඔවුන් උසස් සමාජ වගකීමකින් යුක්තව, සදාචාරාත්මක නිෂ්පාදන ක‍්‍රියාවලීන්හි යෙදෙමින් ගෝලීය තිරසාරභාවය පිළිබඳ ප‍්‍රමිති සපුරාලමින් කටයුතු කරන බවයි.

වසංගතය මගින් දැඩි කම්පනයක් ඇති කළද, ශ‍්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනස් වූ තත්වයන්ට අනුවර්තනය වූයේ පුද්ගලික ආරක්ෂක උපකරණ කට්ටල (PPE) නිෂ්පාදනයෙන් පමණක් නොවේ; ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ට බෙදා හැරීම් නියමිත කාලයට ලබා දීම සහතික කිරීම සඳහා ඔවුන් එකිනෙකාගේ හැකියාවන් උපරිම ලෙස භාවිතයට ගත්හ. ගුවන් ගමන් අත්හිට වූ අවස්ථාවේදී, 3D තාක්ෂණයය යොදා ගනිමින් කරමින් ගැනුම්කරුවන්ට සාම්පල යවමින් එම ගැටලූව ඔවුන් විසඳුවේය.

සරල නිශ්චිත වටිනාකමකට ශ‍්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ඇඟළුම් ව්‍යවසායකයින්ගේ වටිනාකම එකතු කිරීම ග‍්‍රහණය කර ගැනීම අපහසුය. මීට ඉහතින් සඳහන් කළ ෙඡ්දවල විස්තර කර ඇති වෙළෙඳපොළට සමාන සේවා සපයන ශ්‍රී ලාංකික සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර තිබේ.

මේ සියල්ලෙන් ගත යුතු දෙය නම් Mittelstand යනු ව්‍යාපාරික ආකෘතියක් පමණක් නොව අන්තර් සම්බන්ධතාවලින් සමන්විත පද්ධතියක් වන අතර එවැනි පද්ධතියක් නිර්මාණය කිරීමෙන් ශ‍්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ඇඟළුම් ව්‍යවසායයන් අනාගතයේදී දශක ගණනාවකට ගෝලීය වශයෙන් තරඟකාරීත්වයක් ඇති කළ හැකිය. ඉතින් කළ හැක්කේ කුමක්ද?

ශ‍්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ඇඟළුම් ව්‍යවසායකයින්ගේ අනුවර්තනය වීමේ හැකියාව බොහෝ විට පවතින වාතාවරණයන් සමඟ පැන නගී. වැඩ ප‍්‍රවාහය සහ ඇණවුම් නිතර නිතර වෙනස් වේ; එය සත්‍යයකි, ඇඟළුම් යනු විලාසිතා මූලික කරගත් ව්‍යාපාරයක් වන අතර සෑම උත්සව සමයකදීම විලාසිතාවන් වෙනස් වේ, නමුත් ඒ සඳහා අවම මට්ටමේ තිරසාර කාර්ය ප‍්‍රවාහයක් අවශ්‍ය වේ, එවිට කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තශාලා දැන් මෙන් සෑම වසරකම මාස තුනක් පමණ අකර්මණ්‍ය නොවේ.

බොහෝ ශ‍්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ඇඟළුම් ව්‍යවසායකයින්ට ගෝලීය වෙළෙඳපොළ සහ තාක්ෂණයන්ට නිරාවරණය වීම අවශ්‍ය වේ. ඔවුන් Mittelstand අනුකරණය කිරීමට යන්නේ නම්, ඔවුන් ගෝලීය වෙළෙඳපොලවලට අවශ්‍ය දේ මත පදනම්ව ඔවුන් දැනට භාවිතා කරන තාක්ෂණයන් වැඩිදියුණු කිරීමට සිදු වේ. Mittelstand සමාගම් සෘජුවම ගෝලීය වෙළෙඳපොළ වෙත අපනයනය කරන බව ඔබ මෙහිදී සිහි තබා ගත යුතුය.

ඉහත සඳහන් කළ සියල්ලටම SMEs විධිමත් මූල්‍ය පද්ධතියට ඇතුළත් කිරීම අවශ්‍ය වේ. ශ‍්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල වර්ධනය ණය මත රඳා නොපවතී; අත්‍යවශ්‍ය වන්නේ නිතර වෙනස් වන වැඩ ප‍්‍රවාහයේ බලපෑම අවම කිරීම සඳහා මූල්‍ය වෙත ප‍්‍රවේශ වීමත් අවශ්‍ය පරිදි තාක්ෂණයන් වැඩිදියුණු කිරීම සඳහා ආයෝජනය කිරීමත්ය.

මෙම වසංගතයෙන් අප යථා තත්වයට පත්වන විට, අනාගතයේදී ඇති වන සෞඛ්‍ය තර්ජනවලට මුහුණ දීම සඳහා ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීමට ද අපට සිදුවේ. මේ නිසා ආර්ථික වර්ධනය හා සමෘද්ධිය කරා ඉදිරි පියවර තැබීම සඳහා රටේ ආර්ථික කොඳු නාරටිය ශක්තිමත් කිරීම ඉතා වැදගත් ය.

එය සිදු කිරීම සඳහා රජයේ ප‍්‍රතිපත්ති, සමස්තයක් වශයෙන් මෙරට විශාල ඇඟළුම් ක්ෂේත‍්‍රය, විදේශයන්හි සිටින අපගේ ගැනුම්කරුවන් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් එකට එකතු විය යුතුය. ඒ සඳහා දැන් කාලය එළඹ ඇත.

Hits: 141