එලොන් මස්ක් පොරොන්දුව ඉටු කරයි – Tesla කොටස් 930,000ක් විකුණයි

Space X සහ Tesla යන සමාගම්හි හිමිකරුවා වන ලොව සුප්‍රසිද්ධ ව්‍යාපාරික එලෝන් මස්ක් තමන් සතුව වූ Tesla සමාගමේ කොටස් 930,000ක් අලෙවි කර ඇතැයි වාර්තා වෙයි. ඊයේ දිනයේදී ඔහු මෙම අලෙවි කිරීම සිදු කර තිබේ.

මෙලෙස අලෙවි කෙරුණු කොටස්වල වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 1.1ක් ඉක්මවන බවත් ගණන් බලා ති‍බේ. ඒ අනුව මෙය ඔහු විසින් පසුගියදා සිදු කරන ලද පොරොන්දුවක් ඉටු කිරීමේ අවස්ථාවක් බවටත් පත්ව ඇතැයි ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

තමන් සතුව ඇති Tesla සමාගමේ කොටස් ලක්ෂ 10ක් අලෙවි කළ යුතුද? නැද්ද? යන්න විමසමින් ඔහු තම ට්විටරි ගිණුමේ සටහනක් තැබූ අතර, සිය පරිශීලකයන්ට ඊට ඡන්දය ලබාදීමට අවස්ථාව සලසා තිබුණි.

එහිදී ප්‍රතිචාර ලෙස පරිශීලකයන්ගෙන් 57.9%ක ප්‍රතිශතයක් එම කොටස් විකුණා දැමිය යුතු බව පවසා තිබුණි. 42.1%ක ප්‍රතිශතයක් එය එසේ සිදු නොකරන ලෙස පවසා තිබුණි.

ඒ අනුව බහුතරයගේ අදහසට ගරු කරමින් මස්ක් මෙලෙස සිය Tesla කොටස් අලෙවිය සිදු කර තිබේ. එහෙත් මෙම කොටස් අලෙවියෙන් පසුවද ඔහු සතුව Tesla හි තවත් කොටස් මිලියන 170ක් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි.

කොටස් වටිනාකම් ඉහළ යන සමාගම්වල හිමිකරුවන් විසින් උපයා ගන්නා ආදායමට අනුව බදු (ප්‍රාග්ධන බදු) එකතු කරගැනීමට එක්සත් ජනපද පාලක ඩිමොක්‍රැටික් පක්ෂ මන්ත්‍රීවරුන් ගෙන ආ යෝජනාවට ප්‍රතිචාර ලෙස මස්ක් මෙලෙස සිය කොටස් අලෙවි කිරීමේ යෝජනාව රැගෙන ආ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

Views: 2036