නිමල් පෙරේරා නෙස්ලේ ලංකා මුල් කොටස් හිමිකරුවන් 10 දෙනා අතරට

මෙරට මුල් පෙළේ ආයෝජකයෙකු වන නිමල් පෙරේරා මහතා නෙස්ලේ ලංකා පීඑල්සී (NEST.N0000) සමාගමෙහි මුල් කොටස් හිමිකරුවන් 10 දෙනා අතරට පත්ව ඇතැයි වාර්තා වෙයි. පසුගිය සැප්තැම්බර් 30 වැනිදායින් අවසන් වූ දෙවැනි කාර්තුව සඳහා නිකුත් කෙරුණු නෙස්ලේ ලංකා සමාගමේ අතරමැදි මූල්‍ය ප්‍රකාශනය තුළ මේ බව සඳහන්ව තිබේ.

ඒ අනුව මෙහිදී නිමල් පෙරේරා මහතා සතුව නෙස්ලේ ලංකා පීඑල්සී සමාගමේ කොටස් 90,747ක් හිමිව පවතින අතර, එය 0.17%ක කොටස් ප්‍රතිශතයකි. සමාගම තුළ තනි පුද්ගල කොටස් හිමිකාරීත්වය අතරින් නව වැනි ස්ථානයේ ඔහු පසුවෙයි. එසේම නෙස්ලේ ලංකා කොටස් හිමිකාරීත්වයේ 8 වැනි ස්ථානයේ පසුවන සේවක අර්ථසාධක අරමුදලට පසුව වැඩිම කොටස් හිමිකරුවා වන්නේද නිමල් පෙරේරා මහතාය.

මෙලෙස නෙස්ලේ ලංකා සමාගමේ මුල් කොටස් හිමිකරුවන් 10 දෙනා අතරට පත්විමට හැකිවිම සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ අදහස් දක්වා ඇති නිමල් පෙරේරා මහතා, තමන් දිතුකාලීන පදනම මත ඉතා හොඳ ලාභාංශ ඵලදාවක් සහිත සමාගම් තුළ ආයෝජනය කර ඇති බවත්, එය සිය ආයෝජන ආරක්ෂාව වෙනුවෙන් සිදු කරන ලද ආරම්භයක් ලෙසත් ඔහු සඳහන් කර තිබේ.

ඊයේ දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී නෙස්ලේ ලංකා පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 1,261.50 ක් ලෙස සටහන්ව තිබුණි.

නෙස්ලේ ලංකා පීඑල්සී සමාගමේ වැඩිම කොටස් හිමිකාරීත්වය ස්විස්ටර්ලන්තයේ පිහිටි නෙස්ලේ මව් සමාගම වෙත හිමිව ඇති අතර, එය 91.95%ක ප්‍රතිශතයකි. එසේම දෙවැනි වැඩිම කොටස් හිමිකරුවා වන්නේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ – ජීවන රක්ෂණ අරමුදලයි. එය 0.49%ක ප්‍රතිශතයකි.

Visits: 770