අයවැය පිළිබඳ අවධානයත් සමගින් විශාල සමාගම් වෙත උනන්දුව අඩු වෙයි

අද (නොවැම්බර් 11) දිනයේදීද කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු සුපුරුදු ලෙසම විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් වෙත වැඩි බරක් දෙමින් ක්‍රියාත්මක වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී එල්ඕඑල්සී ෆිනෑන්ස් තුළ කැපී පෙනෙන ලෙස ඉහළ කොටස් ප්‍රමාණයක් ගනුදෙනුවීමත් දක්නට ලැබී තිබේ.

මේ අතර හෙට දිනයේදී ඉදිරිපත් කෙරෙන අයවැය හේතුවෙන් විශාල සමාගම් කෙරෙහි වන ආකර්ෂණය යම් තරමකින් අඩුවීමක්ද පෙන්නුම් කෙරිණි. කෙසේ වෙතත් ඊයේ දිනයේදී සිදු වුණු ලාභාංශ නිවේදනත් සමගින්ම අද දිනයේදී පාම්-ඔයිල් නිෂ්පාදන සමාගම් කෙරෙහි ඉහළ උනන්දුවක් දැකගත හැකි වූ බවත් කොටස් තැරැව්කාර සමාගම් පවසයි.    

ඒ අනුව අද දිනයේදී ඒකක 10,522.60ත් ඒකක 10,782.94ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 10,686.37ක් බවට පත්විය. එය ඊයේ (නොවැම්බර් 10) දිනයට සාපේක්ෂව ඒකක 163.77ක් එනම් +1.56%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව රේනුකා හෝල්ඩිංග්ස් පීඑල්සී, එයිට්කන් ස්පෙන්ස් හොටෙල් හෝල්ඩිංග්ස් පීඑල්සී සහ සම්පත් බැංකුව තුළ සිදු වූ ගනුදෙනු පිරිවැටුමෙන් 2.1%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 109ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 84ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (+65.79), එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (+55.33), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+24.78), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (+9.67), එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (+8.0), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-13.15), හැටන් නැෂනල් බැංකුව HNB (-4.72), සිලෝන් බෙවරේජ් හෝල්ඩිංග්ස් පීඑල්සී BREW (-4.38), හේලීස් පීඑල්සී HAYL (-4.37), වැලිබල් වන් පීඑල්සී VONE (-2.55) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,625.37ක අගයක් ගත් අතර, එය ඊයේ (නොවැම්බර් 10) ‍ට සාපේක්ෂව ඒකක 7.03ක එනම් -0.19%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 6.88ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (නොවැම්බර් 10) වාර්තා කළ රුපියල් බිලියන 5.72 ට  සාපේක්ෂව 20% ක ඉහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 4.76ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 60.98%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 74.75ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 85.16ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 10.38කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 46.86ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය බයිරහා ෆාම්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 12.62කි. එසේම එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 16.40ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 2,945ක් සඳහා විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 43%කි. එසේම ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය සහ ප්‍රාග්ධන භාණ්ඩ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 1,651ක සහ රුපියල් මිලියන 974ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Views: 300