මුදල් ඇමති බැසිල් රාජපක්ෂගේ මංගල අයවැය අද

එළැඹෙන 2022 මුදල් වර්ෂය සඳහා වන රජයේ ආදායම් සහ වියදම් පිළිබඳ හෙවත් අයවැය කතාව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මෙය මුදල් ඇමතිවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන මංගල අයවැයද වෙයි.

අද පස්වරු 2.00ට මෙම අයවැය කතාව ආරම්භ වෙයි. නිදහසින් පසු ඉදිරිපත් වන ශ්‍රී ලංකාවේ 76 වැනි අයවැය මෙය වන අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව යටතේ ඉදිරිපත් වන දෙවැනි අයවැය ලේඛනයද මෙය වෙයි.

අය වැය ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන අද (12) සිට අයවැය විවාදය පැවැත්වෙන සම්පූර්ණ කාල සීමාව තුළ සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ රෙගුලාසීන්ට අනුකූලව පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කරයි.

අයවැය විවාදය පැවැත්වෙන කාල සීමාව තුළ මහජන ගැලරිය මහජනතාව සඳහා විවෘත නොවන අතර, රාජ්‍ය නිලධාරීන් සීමිත පිරිසකට පමණක් අය වැය කාරක සභා අවස්ථාවට සහභාගි වීමට අවසර දී තිබේ. අද දිනයේදී ආරාධිත විදේශ රාජ්‍ය තාන්ත්‍රික තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන් වෙනුවෙන් විශේෂ අමුත්තන්ගේ ගැලරිය විවෘත කෙරේ.

අය වැය කතාව කිරීමෙන් පසු මුදල් ඇමැතිවරයා විසින් සාම්ප්‍රදායානුකූලව පවත්වන තේ පැන් සංග්‍රහය පැවැත්වේ. එහෙත් එය පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්, විදේශ තානාපතිවරුන් සහ ආරාධිතයන්ට පමණක් සීමා වනු ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ xvii පරිච්ඡේදය අනුව රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතුවන අතර, බදු නියම කිරීම, ඒකාබද්ධ අරමුදලින් හෝ ප්‍රතිපාදන සහිත වෙනත් සුදුසු අරමුදලකින් ලබා ගැනීම ඇතුළු කාරණා සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ගත යුතු වේ.

නොවැම්බර් 13 සෙනසුරාදා සිට නොවැම්බර් 22 සඳුදා දක්වා දින 7ක් අයවැය දෙවැනි වර කියැවීමේ විවාදය පැවැත්වේ. නොවැම්බර් 22 වැනි සදුදා පස්වරු 5.00ට අයවැය දෙවැනිවර කියැවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත වේ.

නොවැම්බර් 23 වැනි අඟහරුවාදා සිට කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ වන අතර, සෙනසුරාදා ද ඇතුළුව දෙසැම්බර් 10 වැනි සිකුරාදා දක්වා දින 16ක් එම විවාදය පැවැත්‍ වේ. දෙසැම්බර් 10 දා පස්වරු 5.00ට තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත වේ.

ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් මෙවර අයවැය විවාදය සංඥා භාෂාවෙන්ද ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත. ඒ අනුව අය වැය විවාදය පැවැත්වෙන කාල සීමාව තුළ රූපවාහිනි සජීවි විකාශයට සමගාමීව සංඥා භාෂා කවුළුවක්ද විකාශය කෙරේ.

Visits: 68