වසර 06කට පසු ප්‍රංශයේ සිට මගීන් රැගත් පළමු ශ්‍රී ලංකන් ගුවන් යානය කටුනායකට

වසර 06කට පසුව ප්‍රංශයේ සිට ශ්‍රි ලංකාවට පැමිණි ශ්‍රි ලංකන් පළමු ගුවන් යානය මගීන්ගෙන් පිරි ගිය බවත් ඒ අතර සංචාරකයෝ විශාල පිරිසක් ද සිටි බවත් සංචාරක අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ප්‍රංශයේ පැරිස් නුවර Charles De Gaulle ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන්තොටුපළට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් UL 564 ගුවන් යානයේ ගුවන් මගීන් 200කට අධික පිරිසක් ශ්‍රි ලංකාවට පැමිණ තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ශ්‍රි ලංකාව හා ප්‍රංශය අතර සෘජු ගුවන් ගමන් වසර 06කට පසුව යළි ආරම්භ කළේ පසුගිය ඔක්තෝබර් 31 වැනිදාය. UL 564 ගුවන් යානය එම ගුවන් තොටුපළේ සිට ශ්‍රි ලංකාව බලා පියාසර කිරිම ආරම්භ කළේ ඔක්තෝබර් 31 සවසයි. එය නොවැම්බර් 01 අළුයම 04.25 ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩ බැස්සවිම සිදු විය.

මෙම ගුවන් යානයෙන් මෙරටට පැමිණි බොහෝ ශ්‍රී ලාංකිකයන් දිවයිනට පැමිණියේ වසර ගණනාවකට පසුව වීම ද විශේෂත්වයකි. ප්‍රංශය හා ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් යළි ආරම්භ වීම සතුටට කරුණක් බව ඔවුන් එහිදී පවසා තිබේ. එය ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර ද්විපාර්ශවික සබදතා තව තවත් පුළුල් විමට හේතුවනු ඇතැයි ද ඔවුන් පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර මුලින්ම සෘජු ගුවන් ගමන් ආරම්භ කෙරුණේ 1980 වසරේදියි. අඛණ්ඩව සතිපතා ගුවන් ගමන් වාර 03 ක් ප්‍රංශය හා ශ්‍රී ලංකාව අතර සිදු කෙරිණි.

ඒ අනුව යළිත් වරක් ඉරිදා (31) සිට ද සතිපතා ගුවන් ගමන් වාර 03 ක් ප්‍රංශය හා ශ්‍රී ලංකාව අතර සිදු කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම කටයුතු කර තිබේ. ඉදිරි දිනවල ප්‍රංශයේ සිට පැමිණිමට නියමිත ගුවන් යානාවල ද ආසන මේ වන විට සීඝ්‍රයෙන් වෙන් කෙරෙමින් පවතින බවද ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසා සිටියි.

ප්‍රංශය ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණෙන ප්‍රධාන රටවලින් එකකි. පසුගිය ඔක්තෝම්බර් 01 වෙනිදා සිට 24 වන දින දක්වා පමණක් මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 16,451 කි. ඉන් 453 දෙනෙකු පැමීණ ඇත්තේ ප්‍රංශයෙනි. ශ්‍රි ලංකන් ගුවන් සමාගම නව සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමත් සමග මෙම සංඛාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එසේම එයාර් ෆාන්ස් ගුවන් සමාගමට ද ලබන සිකුරාදා (05) සිට ශ්‍රි ලංකාවට සෘජු ගුවන් ගමන් ආරම්භ කරයි. එයද මෙරටට සංචාරකයන් වැඩි වශයෙන් පැමීණීමට හේතු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Views: 85