හම්බන්තොට ෆෝර්මියුලා 1 ධාවන පථයක් ඉදිකිරීමට යළි අවධානය?

ශ්‍රී ලංකාවේ හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ ෆෝර්මියුලා 1 ධාවන පථයක් ඉදිකිරීම සම්බන්ධයෙන් ස්පාඤ්ඤ සහ ජපාන ආයෝජකයන් පිරිසක් මූලික සාකච්ඡාවකට පිවිස ඇතැයි වාර්තා වෙයි.

අද පළ වුණු සන්ඩේ ටයිම්ස් පුවත්පත මේ පිළිබඳ කරුණු අනාවරණය කර තිබේ. රජයට සමීප නිලධාරියෙකු පුවත්පත වෙත මෙම කරුණු හෙළිදරව් කර ඇත.

මෙහිදී කිලෝමීටර් 5.6ක දුරකින් යුත් ග්‍රෑන්ඩ් ප්‍රික්ස් ධාවන පථයක් ලෙස මෙය ඉදිකිරිම සැලසුම වී ඇතැයි සඳහන් වෙයි. මෙහිදී රජයට අයත් ඉඩමක් ඊට ලබා දීමට නියමිතව ඇති අතර, දේශීය සම්පත් සහ විශේෂඥ දැනුම යොදා ගනිමින් එය සංවර්ධනය කෙරෙන බවත් රජයේ ආරංචි මාර්ග පවසා තිබේ.

මෙහිදී අදාළ ධාවන තරග සඳහා යොදා ගන්නා මෝටර් රථ හම්බන්තොට වරායෙන් ගොඩබැස්සවීමටත්, හම්බන්තොට ගුවන් තොටුපොළ ආපනශාලාව මගින් පැමිණෙන අමුත්තන් වෙත සංග්‍රහ කිරීමටත් මෙහිදී සැලසුම වී ඇත.

පුවත්පත සඳහන් කරන ආකාරයට මෙම ව්‍යාපෘතිය ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන්නක් ලෙස සිදු කිරීම අපේක්ෂාව වන අතර මේ හරහා හම්බන්තොට ප්‍රදේශයේ ලෙෂර් පහසුකම් සහ හෝටල් සඳහා ඉහළ ආකර්ෂණයක් හට ගන්නා අවස්ථාවක් වනු ඇතැයිද රජය පවසන බව පුවත්පත වැඩිදුරටත් සඳහන් කර සිටියි.

මීට පෙර පැවැති ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජය යටතේද හම්බන්තොට, තිස්සමහාරාම ප්‍රදේශය ආශ්‍රිතව ජාත්‍යන්තර මට්ටමේ මෝටර් රථ ධාවන පථයක් ඉදිකිරීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත්ව තිබූ අතර, පැවැති යහපාලන රජය සමයේදී ඊට විවේචනද එල්ල විය. 2007 වසරේදී ඉදිකිරීමට සැලසුම් වූ මෙය අදියර තුනක් යටතේ ගොඩනගමින් 2010 වසර වන විට සම්පූර්ණ කිරීම යෝජනාව විය.

මෙය 1994 වසරේදී මැලේසියාවේ ක්වාලාලම්පූර් ගුවන් තොටුපොළ සමීපව ඉදිකර ඇති Sepang ජාත්‍යන්තර ෆෝර්මියුලා 1 ධාවන පථය හා සමානව ඉදිකිරීමට යෝජනා වූ ව්‍යාපෘතියක් විය. එහිදී මෙම ධාවන පථය හරහා ක්වාලලම්පූර් ගුවන් තොටුපොළද ප්‍රවර්ධනය සැලසුම විය.

Views: 230