ශ්‍රී ලංකාවේ ආර්ථික සමෘද්ධිය වේගවත් කිරීමට ලෝක බැංකුවෙන් වැදගත් කරුණු හතරක්

ශ්‍රී ලංකාවේ ආර්ථික සමෘද්ධිය වේගවත් කිරීමට සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා අවධානය යොමු කළ යුතු වැදගත් කරුණු හතරක් පවතින බව ලෝක බැංකුව පවසයි. “ශ්‍රී ලංකාවේ දරිද්‍රතා තක්සේරුව හා ආර්ථික පරිවර්තනය වේගවත් කිරීම” නමින් ලෝක බැංකුව සකස් කළ නවතම වාර්තාව මගින් මෙම කරුණු පෙන්වා දී තිබේ.

ඒ අනුව මෙහිදී අතීත සාර්ථකත්වයට බලපෑ සාධක විශ්ලේෂණය කරන අතර, ආර්ථිකය සමෘද්ධිමත් කිරීමට, රැකියා උත්පාදනය කිරීමට සහ වඩාත් පුළුල් ලෙස සමෘද්ධිය සාක්‍ෂාත් කර ගැනීමට ශ‍්‍රී ලංකාවට අවධානය යොමු කළ හැකි මූලික කරුණු හතරක් ගැන සාකච්ඡා කරයි.

විශේෂයෙන්ම ජීවන තත්ත්වය ඉහළ නැංවීමේදී සහ දරිද්‍රතාවය අඩු කිරීමේදී ශ්‍රී ලංකාව ඉහළ ප්‍රගතියක් ලබා ඇති නමුත් කොවිඩ්-19 අර්බුදය ජීවනෝපාය මාර්ග හා ඉපැයීම් දැඩි ලෙස අහිමි වීමට හේතු වී ඇතැයි ලෝක බැංකුව පවසයි. එසේම ශ්‍රී ලංකාව කොවිඩ් 19 අර්බුදයෙන් ගොඩ එන අතර, දුප්පතුන්ට සහ අවධානමට ලක් විය හැකි ජන කොටස් වලට නැවත නැඟී සිටීමට උපකාර කිරීම දිගු කාලීන ගැටළු වැළැක්වීමට දායක වනු ඇතැයිද ලෝක බැංකුවේ අදහස වී තිබේ.

ජීවනෝපාය මාර්ග සහ සුබසාධනය ඉහළ නැංවීමේදී ශ්‍රී ලංකාව ඉහළ ප්‍රගතියක් ඇත කරගෙන ඇත
ජීවන තත්ත්වය ඉහළ නැංවීමේදී සහ දරිද්‍රතාවය අඩු කිරීමේදී ශ්‍රී ලංකාව ඉහළ ප්‍රගතියක් ලබා ඇත. කොවිඩ්-19 අර්බුදයට පෙර දශකය තුළ දරිද්‍රතාව අඩු වෙමින් පැවතුණි. ලෝක බැංකුවේ $3.20 ජාත්‍යන්තර දරිද්‍රතා රේඛාව අනුව (2011 PPP) ගත් කල ලංකාවේ දරිද්‍රතාවය 2012/13 වසරේදී වාර්තා වූ සියයට 16.2 සිට 2016 වන විය සියයට 11 දක්වා අඩු විය. මෙම අගය 2019 දී සියයට 9.2 දක්වා තවදුරටත් පහත වැටී ඇති බව ආර්ථික ඇස්තමේන්තු/ගණනය කිරීම් වලින් පෙන්නුම් කරයි. එමෙන්ම මීට සමගාමීව ශ්‍රී ලංකාව සුබසාධනය පිළිබඳ අනෙකුත් අංශවල ද යහපත් ප්‍රගතියක් පෙන්නුම් කරනු ලැබීය. මාතෘ හා ළමා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගතිය හා  රටෙන් බහුතරයකට විදුලිය ලබා ගැනීමේ හැකියාව අත් පත් කර ගැනීම ප්‍රශංසනීය ජයග්‍රහණ ලෙස හඳුනාගත හැකිය.

එවැනි සුබසාධන තත්වයේ ප්‍රගතිට සාමාන්‍යයෙන් හේතු වන්නේ ජීවනෝපාය මාර්ග වැඩිදියුණු වීමයි. “තිරසාර ලෙස දරිද්‍රතාවය අඩු වීමට බලපා ඇති ප්‍රධාන කරුණක් වන්නේ, ගොවිපළ-නොවන අංශවල ශ්‍රම ආදායම් වර්‍ධනයයි. ඉන් ඵලදායිතාව වැඩිදියුණු වූ අතර ශ්‍රම බලකායෙන් කොටසක්  කෘෂිකර්මාන්තයෙන් ඉවත් වී වඩා හොඳ වැටුප් ලබන අංශ වෙත මාරු වුණා. මෙම ක්‍රියාවලිය ආර්ථික පරිවර්තනයk (Economic transformation)  ලෙස හැඳින්විය හැකියි. ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ යෝන් සූ කිම් පවසයි. පසුගිය දශකය තුල රට තුල කැපී පෙනෙන වෙනස්කම් රාශියක් සිදුවූ බව නිරීක්ෂණය කල හැකිය. යටිතල පහසුකම්  ඉහළ නැංවීමට සිදු කල ආයෝජන මඟින් වෙළඳපොළ හා සේවා සඳහා ප්‍රවේශය වැඩි දියුණු කරන ලදි. ගොවිපොළ-නොවන අංශ  පුළුල් විය. විශේෂයෙන් සංචාරක ව්‍යාපාරය වාර්තාගත ප්‍රගතියක් අත්පත් කරගත් අතර වසර 10 කටත් අඩු කාලයකදී රටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය සිව් ගුණයකින් වැඩි විය. එමඟින් ශ්‍රී ලංකාව හොඳම සංචාරක ගමනාන්තයක් ලෙස නම් කරන ලදී. එසේම  Uber, PickMe, සහ Airbnb වැනි සේවාවන් නාගරික ප්‍රදේශවල ජනප්‍රියත්වයට පත් විය.

කොවිඩ්-19 අර්බුදය සමඟ දරිද්‍රතාවය සහ අසමානතාවය සැලකිය යුතු ලෙස වැඩි වීමට හේතු විය.
කෙසේ වෙතත්, වසර ගණනාවක් තිස්සේ අත්පත් කරගත් ප්‍රගතිය හදිසියේ නතරවීමට කොවිඩ්-19 හේතු වූ අතර, ඒ හේතුවෙන් ආර්ථිකය වාර්තාගත ලෙස හැකිලීමකට ලක් විය. වසංගතයත් සමඟ රැකියා හා ඉපැයීම් අහිමි වීම්  බහුල ලෙස වාර්තා විය. $3.20 දරිද්‍රතාවය  2020 දී සියයට 11.7 දක්වා හෝ මිලියන භාගයකට අධික ජනගහනයකින් ඉහළ ගොස් ඇතැයි ගණන් බලා ඇත. එය වසර පහක ප්‍රගතියකට සමාන විශාල පසුබෑමකි. විශාල  අවිධිමත් අංශයක් සහ දුර්වල සමාජ  ආරක්‍ෂණ ක්‍රම හේතුවෙන් වැඩ කරන ජනතාව අතර ආර්ථික අවදානම ඉහළ මට්ටමක පවතියි. වසංගතය මැඩපැවැත්වීමට සහ ආර්ථික අර්බුද අවම කිරීමට රජය ක්‍ෂණිකව ක්‍රියා කළ නමුත් එහි පූර්ණ බලපෑමෙන් මිදීමට තරම් එම පියවර ප්‍රමාණවත් නොවීය. එමෙන්ම වසංගතය සමඟ සිදුවූ අහිතකර ආර්ථික බලපෑම් හේතුනේ අසමානතාවය තව දුරටත් ඉහළ යාමට ඉඩ ඇත.

පශ්චාත් කොවිඩ් ආර්ථික ප්‍රතිසාධනය සඳහා අවධානය යොමු කළ යුතු කරුණු 4ක්
නව ලෝක බැංකු වාර්තාවක් වන “ශ්‍රී ලංකාවේ දරිද්‍රතා තක්සේරුව හා ආර්ථික පරිවර්තනය වේගවත් කිරීම” ශ්‍රී ලංකාව සිය ජනතාවගේ ජීවනෝපාය මාර්ග වැඩිදියුණු කිරීම සඳහා ගත් උත්සාහයන් සාර්ථක වීමට හේතු පෙන්වා දෙයි. කොවිඩ්-19 වසංගතය රටේ ජනයාගේ ජීවනෝපාය මාර්ග සහ දරිද්‍රතාවයට ඇති කළ මුල්  බලපෑම ද එය හොඳින් විශ්ලේෂණය කරයි. එම වාර්තාව මඟින් ශ්‍රී ලංකාව සිය ආර්ථිකය තවදුරටත් පරිවර්තනය (economic transformation) කිරීමට, වැඩි රැකියා ප්‍රමාණයක් උත්පාදනය කිරීමට, තිරසාර ලෙස දරිද්‍රතාවය තුරන් කිරීමට හා ආර්ථික සමෘද්ධිය සැමදෙන අතරේ බෙදී යනගමන් මගක් අනුගමනය කිරීමට  අවධානය යොමු කළ යුතු ප්‍රමුඛතා කරුණු හතරක් අවධාරණය කරයි.

කෘෂිකාර්මික ඵලදායිතාව සහ ආදායම ඉහළ නැංවීම පළමු ප්‍රමුඛතාවයි. රටේ ව්‍යුහාත්මක පරිවර්තනයක් සිදුවෙමින් පවතින නමුත් එය සිදුවන්නේ ඉතා සෙමිනි. රටේ ගොවීන් බහුතරයක්  දරිද්‍රතාවයෙන් පීඩා විඳීමට නැඹුරුවක් ඇති හෙයින් ඉහළ වටිනාකම එකතු කරන, අපනයන කේන්ද්‍ර කරගත් භෝග මිශ්‍රණයන් වෙත මාරු වීමට ගොවීන්ට සහාය වීම වැදගත් වනු ඇත. දේශගුණයට උචිත තාක්‍ෂණයන් අනුගමනය කිරීම, කෘෂි කර්මාන්ත පහසුකම් වැඩි දියුණු කිරීම හෝ වටිනාකම් දාමයන් (value chain) වෙත පුළුල් ප්‍රවේශයක් ලැබෙන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමෙන් මෙම අංශයට ප්‍රතිලාභ ලැබිය හැකිය.

දෙවන ප්‍රමුඛතාවය නම් ග්‍රාමීය ප්‍රදේශවල ගොවිපළ-‍නොවන රැකියා  බහුල කිරීමට  ඇති බාධාවන් විසඳීමයි. ගොවිපළ-නොවන රැකියා සාමාන්‍යයෙන්  ඵලදායීතාවය වැඩි  ජීවනෝපාය මාර්ගය විය හැක. ජීවනෝපාය මාර්ග පිළිබඳ තීරණ ගැනීමේදී අධ්‍යාපනය ප්‍රධාන තැනක් ගනී. වැඩි වැඩියෙන් අධ්‍යාපනය ලැබූ අය ගොවිපළ අංශ වලට වඩා ගොවිපළ-නොවන අංශවල සහ ඉහළ වැටුප් සහිත රැකියා වෙත පිවිසීමට ඇති ඉඩකඩ වැඩිය. මෙයින් ගම්‍ය වන්නේ අඩු ප්‍රතිලාභ සහිත අංශ වලට යොමු වීම ආදායම වැඩි කිරීමට උපකාරී නොවන බවයි. ගොවිපළ-නොවන අංශය විවිධාංගීකෘත වන අතර , සංචාරක ව්‍යාපාරයේ උපාය මාර්ගිකආයෝජන මඟින් අඩු නිපුණතා ඇති හා ආර්ථික අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සඳහා රැකියා උත්පාදනය කොට  ග්‍රාමීය ආදායම් වර්ධනයට සහාය විය හැකිය.

තුන්වන ප්‍රමුඛතාවය නම් ශ්‍රම ඵලදායිතාව ඉහළ නැංවීම සහ රැකියා උත්පාදනය සඳහා පුළුල් ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීමයි. එය රැකියා වල ගුණාත්මක භාවය ඉහළ නැංවීමට උපකාරී වේ. ශ්‍රී ලංකාවේ අවිධිමත් අංශයේ  රැකියා ප්‍රමාණය 70% ක් පමණ වන බවට තක්සේරු කර ඇති අතර මෙම රැකියා සාමාන්‍යයෙන්  අඩු පහසුකම් සහිත වැඩ කරන පරිසරයක් සහිත වීම, සීමිත රැකියා සුරක්‍ෂිතතාවය සහ අඩු ආදායම් හේතුවෙන් වැඩි  දරිද්‍රතා අවදානමකට ලක් වීම යන අභියෝග වලට මුහුණ දෙයි.  ජාත්‍යන්තර පර්යේෂණ වලට වලට අනුව, ප්‍රතිසංස්කරණ මඟින් අවිධිමත් භාවය ඉලක්ක කිරීම වෙනුවට එවන් රැකියා වෙත යොමුවීමට හේතු සහ ඒවායේ ප්‍රතිවිපාක විසඳීමට යොමු වීම වඩා වැදගත්ය.

සිව්වන ප්‍රමුඛතාවය නම් අවකාශීය පරිවර්තනය (spatial transformation) ප්‍රවර්ධනය කිරීම සහ සෑම ජන කොටසක්ම සංවර්ධනයට ඇතුලත් කර ගැනීමයි. ප්‍රාදේශ වශයෙන් ඇති වෙනස් කම් අවම කර ගැනීම  සහ මූලික සේවාවන් සඳහා ප්‍රවේශය වැඩි දියුණු කිරීම සඳහා වන ප්‍රමුඛතා මෙයට ඇතුළත් ය. “සෞඛ්‍ය, අධ්‍යාපනය සහ සමාජ ආරක්ෂණය වැනි මානව ප්‍රාග්ධන ආයෝජන ශ්‍රී ලංකාවේ දරුවන්ට ඇති අවස්ථා වර්ධනයට ඉතා වැදගත් වන අතර මෙම ආයෝජන අනාගත ඵලදායිතාව සහ ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා දායක වේ,” ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන කළමනාකරු චියෝ කන්ඩා පවසයි.

කොවිඩ් 19 අර්බුදයෙන් ශ්‍රී ලංකාව විදෙන විට,  ආර්ථික වර්ධනය වේගවත් කිරීම ජීවනෝපාය මාර්ග ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ඉතා වැදගත් වනු ඇත. නවතම ආර්ථික පුරෝකතන වලින් පෙන්නුම් කෙරෙන්නේ 2021 දී ආර්ථික වර්ධනය සියයට 3.3 කින් වර්ධනය වනු ඇති බව සහ දරිද්‍රතාව සියයට 10.9 දක්වා අඩු වනු ඇති බවයි.කෙසේ වුවත්  එම දරිද්‍රතා අගය වසංගතය පැමිණීමට පෙර කාලයේ  වාර්තා වූ  අගයට  වඩා ඉහළ අගයකි. දුප්පත් හා ආර්ථික අවධානමට ලක් වූවන් නැවත නඟා සිටුවීම දිගු කාලීන ගැටළු වැළැක්වීමට දායක වේ. නිදසුනක් වශයෙන්, පාසල් වසා දැමීම් හේතුවෙන් සැලකිය යුතු අධ්‍යාපනික පාඩුවක් සිදු වූ අතර මානව ප්‍රාග්ධනයේ විෂමතා පුළුල් වීම නිසා දිගු කාලීනව වර්ධනය හා සමාජ සංචලනය අඩු විය හැකිය.

Hits: 175