LEE HEDGES PLC යාපනයේ පිහිටි සිය ඉඩමක් සහ ගොඩනැගිලි රු. මිලියන 73කට අලෙවි කරයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත LEE HEDGES PLC සමාගම (SHAW.N0000) යාපනය නගරයෙහි තමන්ට අයත්ව තිබූ ඉඩමක් රුපියල් මිලියන 73කට අලෙවි කර ඇතැයි පවසයි.

මෙම ඉඩම එම සමාගමෙහි සමාජ සත්කාර ව්‍යාපෘතියක් ලෙස ඇගලුම් පුහුණු මධ්‍යස්ථානයක් සහ නිමි ඇදුම් කර්මාන්තශාලාවක් ඉදිකිරීම සඳහා එම සමාගම විසින් මිලදී ගත්තක් බව පැවසෙයි. 2014 වසරේදී ජූලි මාසයේදී මෙම මිලදී ගැනීම සිදු කර තිබේ.

ඒ අනුව පසුගියදා රැස්වුණු LEE HEDGES PLC සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම ආයෝජනයට අදාළ ඉඩම අත්හැරීමට තීරණය කර තිබේ.

මෙහිදී එම ඉඩම් ගැනුම්කරුවන් ලෙස අංක 44/7 ජේ, පාසැල් පටුගම, නාවල යන ලිපිනයෙහි පදිංචි ජස්ටින් අරුණ කුමාර සහ සෙල්විනි අරුණ කුමාර යන දෙපළ ඉදිරිපත්ව ඇතැයිද සමාගම පවසයි.

පසුගිය ඔක්තෝබර් 15 වැනිදා මෙම ගනුදෙනුවට අදාළ එකඟතාවට පිවිසි බව LEE HEDGES PLC සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

පසුගියදා නිකුත් කෙරුණු LEE HEDGES PLC සමාගමේ 2020/21 මූල්‍ය වාර්තාව තුළ මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති එම සමාගමේ සභාපති එස්.ආර්. වාමදේවන් මහතා, කොවිඩ්-19 වසංගතයේ බලපෑම නිසා පැවැති ලොක්ඩවුන් සීමා නිසා මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට නොහැකි වූ බව පවසා තිබේ.

එසේම රුපියල් මිලියන 73ක මුදලකට මෙම ඉඩම සහ ගොඩනැගිලි අලෙවි කිරීම සඳහා වන එකඟතාවට පසුගිය අගෝස්තු 28 වැනිදා වන විට පැමිණ සිටින බවත්, එහිදී අපනයන සැකසුම් සමාගමක් වෙත එය අලෙවි කරන බවත් ඒ මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

Visits: 171