රටෙහි ආර්ථිකය පිළිබඳ වන කණස්සල්ල දර්ශක අගයන් පහත හෙළීමට බලපායි

අද (ඔක්තෝබර් 12) දිනයේදීද කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු පෙරදිනයේදී මෙන් පසු බැසිමක් පෙන්නුම් කළ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. විශේෂයෙන්ම වසංගතය හේතුවෙන් මතුව තිබෙන ආර්ථික කාරණා සහ රට තුළ පාරිභෝගික මිල ගණන් ඉහළ යාම් මෙන්ම සැපයුම් අඩාලවීම් යනාදී කාරණා ඊට මූලික වී තිබේ. එහිදී මෙම තත්ත්වය දේශීය මුදල් වටිනාකම් වෙත ඉහළ පීඩනයක් එල්ල කරනු ඇතැයි තැරැව්කාර සමාගම් පවසයි.

මේ අතර දිනයේ මැද භාගයේදී එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ කොටස් වටිනාකම් ඉහළ යාමත් සමගින්ම දර්ශක අගයන් තුළ යම් ඉහළ පහළ යාමක් දැකගත හැකි වී තිබේ. එහෙත් පසුව එම තත්ත්වයද පහව යාමක් සිදු වී ඇත. ඒ අතරතුරදීම බැංකු කොටස් සම්බන්ධයෙන් අලෙවියක්ද දැකගත හැකි වූ බව එම සමාගම් සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 9,629.96ත් ඒකක 9,684.04ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 9,640.36ක් බවට පත්විය. එය ඊයේ (ඔක්තෝබර් 11) දිනයට සාපේක්ෂව ඒකක 8.90ක් එනම් -0.09%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව හැටන් නැෂනල් බැංකුව තුළ සිදු වූ ගනුදෙනුවක් පිරිවැටුමෙන් 3.3%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 77ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 110ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (+7.16), එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+5.48), කොමර්ෂල් බැංකුව COMB (+4.04), නෙස්ලේ ලංකා පීඑල්සී NEST (+3.23), ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (+2.03), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (-3.22), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-2.93), සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (-2.42), වැලිබල් වන් පීඑල්සී VONE (-2.04), එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී SPEN (-2.0යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,574.84ක අගයක් ගත් අතර, එය ඊයේ (ඔක්තෝබර් 11) ‍ට සාපේක්ෂව ඒකක 4.76ක එනම් +0.13%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.06ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (ඔක්තෝබර් 11) වාර්තා කළ රුපියල් බිලියන 2.58 ට  සාපේක්ෂව 20% ක පහළ වැටීමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 4.29ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 45.10%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 16.43ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 44.56ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 28.13කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 45.29ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 2.74 කි. එසේම වස්කඩුව බීච් රිසෝට් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 16.0ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 404ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 20%කි. එසේම නිෂ්පාදන අමුද්‍රව්‍ය සහ ප්‍රවාහන අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 335ක සහ රුපියල් මිලියන 300ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Views: 358