ක්‍රිප්ටෝකරන්සි සහ බ්ලොක්චේන් තාක්ෂණය පිළිබඳ විශේෂඥ කමිටුවක් පත් කෙරේ

මෙරට වෙත ක්‍රිප්ටෝකරන්සි සහ බ්ලොක්චේන් තාක්ෂණය හඳුන්වාදීම පිළිබඳව ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් අධීක්ෂණය කර වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා සාමාජිකයන් 8 දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුවක් පත් කිරීමට රජය පියවර ගෙන ඇත.

ඒ අනුව සුජීව මුදලිගේ (සභාපති), විරාජ් දයාරත්න (ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති) , රජීව බණ්ඩාරනායක (කොළඹ කොටස් හුවමාරුවෙහි ප්‍රධාන විධායක නිලධාරී) , ධර්මශ්‍රී කුමාරතුංග (ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ), ජයන්ත ප්‍රනාන්දු (ICTA ආයතනයේ අධ්‍යක්ෂ) , සඳුන් හපුගොඩ (ශ්‍රී ලංකාව සහ මාලදිවයිනේ මාස්ටර්කාඩ් සමාගම් අධ්‍යක්ෂ), ගුවන් කොමදෝරු (විශ්‍රාමික) ටීජීජේ අමරසේන (ශ්‍රීලංකා CERT ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී) සහ මිලින්ද රාජපක්ෂ (අතිරේක අධ්‍යක්ෂ ජනරාල් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව) යන මහත්වරුන් මෙම කමිටුවට අයත් වෙයි.

ඩිජිටල් බැංකුකරණය, බ්ලොක්චේන් තාක්ෂණය සහ ක්‍රිප්ටෝකරන්සි මයිනින් සහ අවශ්‍ය අනෙකුත් සේවාවන් සැපයීම ක්ෂේත්‍රයන්හි කටයුතු කරන සමාගම් වෙත ආයෝජනයන් ආකර්ශනය කර ගැනීම සඳහා අවශ්‍ය අණපනත්, නීතිරීති හා රෙගුලාසි පිළිබඳව අමාත්‍ය මණ්ඩලය වෙත අවශ්‍ය කරුණු වාර්තා කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි නිපුණ වෘත්තිකයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කිරීමට පසුගියදා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි විය.

එසේම 1978 අංක 4 දරන ආයෝජන මණ්ඩල පනත සහ ඊට අදාළ සංශෝධනයන්හි විධිවිධානයන්ට යටත්ව, ක්‍රිප්ටොකරන්සි මයිනින් සමාගම්වලට ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා අනුමැතිය ලබා දීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා ආයෝජන මණ්ඩලයට අවසර ලබා දීමටත් අවශ්‍ය පියවර ගැනීම මෙම කමිටුව මගින් සිදු කෙරෙන බවත් පැවසෙයි.

Views: 225