හන්ටර්ස් සහ සමාගම රු. 10 බැගින් ලාභාංශ ගෙවීම නොවැ. 19 දාට කල් යයි
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත හන්ටර්ස් සහ සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර තිබූ දිනය වෙනස් කර ඇතැයි පවසයි. ඒ අනුව ලබන නොවැම්බර් 19 වැනිදා එම ලාභාංශ ගෙවීම සිදු කරන බව සමාගම සඳහන් කර තිබේ.
මීට පෙර ඔක්තෝබර් 14 වැනිදා එම ලාභාංශ ගෙවීමට තීරණය කෙරී තිබුණි. එහෙත් ඒ සඳහා වන කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය ලබා ගැනීම සඳහා වූ වාර්ෂික මහා සභා රැස්වීම පැවැත්වීමට නොහැකිවීම නිසා මෙලෙස එම දිනය වෙනස් කර ඇතැයි සමාගම සඳහන් කරයි. පසුගිය සැප්තැම්බර් 30 වැනිදා මෙම වාර්ෂික මහා සභා රැස්වීම පැවැත්වීමට නියමිතව තිබුණි.
හන්ටර්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය මගින් අගෝස්තු මාසයේදී ඉදිරිපත් කළ එම යෝජනාව මගින් සෑම ඡන්ද හිමි කොටසකටම රුපියල් 10 බැගින් ලාභාංශ ගෙවන බව සඳහන් වී තිබුණි. 2021 මාර්තු 31 වැනිදායින් අවසන් වූ 2020/21 මූල්‍ය වර්ෂය වෙනුවෙන් ලබා දෙන ලාභාංශ ගෙවීමක් බවද එහි සඳහන් විය..
ඒ අනුව සමාගම මගින් ප්‍රකාශයට පත් කර ඇති නව ලාභාංශ ගෙවීමේ දිනය වන්නේ ලබන නොවැම්බර් 19 වැනිදාය. එහෙත් එය තීරණය වන්නේ නොවැම්බර් 05 වැනිදා පැවැත්වෙන සමාගමේ මීළග වාර්ෂික මහා සභා රැස්වීමේදී ගන්නා තීරණය අනුව බවත් සඳහන් වෙයි.
මෙහිදී ලාභෘංශ රහිත දිනය (XD Date) නොවැම්බර් 08 වැනිදා ලෙස නම් කෙරී තිබේ.
හන්ටර්ස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී සමාගම අවසන් වරට ලාභාංශ ගෙවීමක් සිදු කර තිබුණේ 2019 වසරේ ඔක්තෝබර් 09 වැනිදාය. එය 2019 මාර්තු 31 වැනිදායින් අවසන් වූ 2018/2019 මූල්‍ය වර්ෂය සඳහා වූ අවසන් ලාභාංශ ලෙස නම් කෙරී තිබුණි. එහිදී කොටසකට රුපියල් 2.25බැගින් ලාභාංශ ගෙවීමක් සිදු විය.
2019/2020 මූල්‍ය වර්ෂය සඳහා සමාගම ලාභාංශ ගෙවීමක් සිදු නොකළ අතර, පැවැති දේශීය සහ ගෝලීය ආර්ථක තත්ත්වය ඒ සඳහා හේතුව වූ බව සඳහන් කර තිබුණි.
1911 ස්ථාපිත කෙරුණු හන්ටර්ස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී සමාගම ලෝහභාණ්ඩ සහ සැහැල්ලු ඉංජිනේරු නිෂ්පාදන, කෘෂිකාර්මික උපකරණ, ගෘහ සහ අනෙකුත් පාරිභෝගික භාණ්ඩ, පාපැදි, පාපැදි අමතර කොටස් ඇතුළු අනෙකුත් උපාංග මෙරටට ආනයනය, බෙදා හැරීම සහ අලෙවිය සිදු කරයි.
හන්ටර්ස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී සමාගමේ කොටස් හිමිකාරීත්වයෙන් කොටස් 3,671,597ක හිමිකම එල්.ආර්.පී. ඩොසා මහත්මියට හිමිය. එය 71.36%ක ප්‍රතිශතයකි. එසේම අලි නකීබ් මහතා සතුව කොටස් 658,783ක් හිමි අතර එය 12.80% ක ප්‍රතිශතයකි.

Hits: 179