SLT-MOBITEL වෙතින් 5 වසර ශිෂ්‍යත්වයට පෙනී සිටින දරුදැරියන්ට ‘Call Tutor 1296’

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL,  මෙම වසරේ නොවැම්බර් මාසයේදී 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුදැරියන් වෙනුවෙන් ‘Call Tutor’ නමින් ශ්‍රව්‍ය පාඩම් සේවාවක් හඳුන්වා දී ඇතැයි පවසයි.

මෙම සේවාව ලබාගැනීම සඳහා දෙමාපියන් කළ යුතු වන්නේ තම නිවෙස් වල SLT-MOBITELHome දුරකථන වලින් 1296 අංකය ඇමතීම පමණි.

පසුගිය වසරේදී මෙරට සිසු සිසුවියන් 300,000 කට අධික පිරිසක් 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. මෙම වසරේදී COVID-19 නිසා දිගින් දිගටම පාසල් වසා තැබීම හේතුවෙන් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරු දැරියෝ විශාල ගැටලුවකට මුහුණ පා සිටිති. මෙම තත්ත්වය හමුවේ සිසුන්ට මෙන්ම දෙමාපියන් හා ගුරුවරුන්ටද අත්වැලක් වීම සඳහා Call Tutor පාඩම් මාලාව හඳුන්වා දීමට SLT-MOBITEL කටයුතු කර ඇත.

1296 අංකය ඔස්සේ 5 වසර ශිෂ්‍යත්ව විභාගයට අදාළව තමන් කැමති විෂයන් සම්බන්ධ පාඩම්වලට සවන් දීමට සිසු සිසුවියන්ට හැකියාව ඇත. එමෙන්ම මෙම සේවාව තුළින්, සිංහල, ගණිතය සහ පරිසරය ඇතුළු විෂයන්ට අදාළ ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගැනීමටද  අවස්ථාව ලබාදී තිබේ.

“අපගේ ඉලක්කය වන්නේ තාක්ෂණය ඔස්සේ රටේ අධ්‍යාපනයට ප්‍රතිලාභ සලසමින් එය සවිබල ගැන්වීමයි. මෙවර ශිෂ්‍යත්ව විභායට පෙනී සිටින දරු දැරියන්ට වඩාත් විධිමත් ලෙසඊට සූදානම් වීමට සහය වීම සඳහා අප Call Tutor 1296 සේවාව හඳුන්වා දීමට කටයුතු කළා. මෙමගින් තම දරුවන්ට අවශ්‍ය දැනුම හා ආත්ම විශ්වාසය ලබාදෙමින් ඔවුන්ට විභාගය ජයගැනීම සඳහා මගපෙන්වීමට දෙමාපියන්ට හැකියාව ලැබේවි,”  යනුවෙන් SLT ප්‍රධාන අලෙවි නිලධාරී ප්‍රභාත් දහනායක මහතා පැවසී ය.

‘Call Tutor 1296’සේවාව නිසා සුරක්ෂිතව තම නිවෙස් වලම හිඳිමින්, වඩාත් ධනාත්මක ආකල්ප සහිතව විභාගයට සූදානම් වීමට සිසු සිසුවියන්ට අවස්ථාව ලැබෙනු ඇත. ‘Call Tutor 1296’ දුරකථන ඇමතුම් සඳහා විනාඩියකට රු. 5ක් සහ අදාළ බදු අය කෙරේ.

Views: 44