Ex-Pack මූලික කොටස් නිකුතුව ඔක්තෝබර් 22 දා

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ කොරුගේටඩ් ඇසුරුම් (Corrugated carton) නිෂ්පාදන සමාගමක් වන Ex-Pack Corrugated Cartons සමාගමේ මූලික කොටස් නිකුතුව 2021 ඔක්තෝබර් 22 දින පැවැත්වීමට සැලසුම් කර ඇතැයි නිවේදනය කර සිටියි.

එසේම එම කොටස් නිකුතුවට අදාළ සංස්ථා ප්‍රකාශය (Prospectus) මේවනවිට කොළඹ කොටස් හුවමාරුවේ නිල වෙබ් අඩවියට ඇතුළත් කර ඇති බවත් සමාගම පවසයි.

Capital Alliance Limited සහ Asia Securities Ltd යන සමාගම් විසින් කළමනාකරණය කරනු ලබන මෙම කොටස් නිකුතුවේදීසාමාන්‍ය ඡන්ද හිමි කොටස් 83,333,333 ක් නිකුත් කිරීමට සමාගම අපේක්ෂා කරයි. මෙම එක් කොටසක් රු. 8.40 කට මිල කර ඇති අතර, මෙහි අපේක්ෂිත වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය රු. බිලියන 2.8 කි.

2022 මූල්‍ය වර්ෂය සඳහා මෙහි ඇස්තමේන්තුගත FuturePER මට්ටම 7.7x වන අතර, ImpliedTTM PER මට්ටම (2021 අගෝස්තු වන විට) of 8.9xක්වේ.

Ex-Pack Corrugated Cartons සමාගම යනු Aberdeen Holdings සමාගමේ පූර්ණ අයිතිය යටතේ පවතින අනුබද්ධ සමාගමකි. මීට පෙර Expolanka Investments (පුද්.) සමාගම ලෙස හැඳින්වුණු Aberdeen Holdings සමාගම, පවුල් සමාගමක් ලෙස ආරම්භ වූ, වසර 30 කට අධික ඉතිහාසයක් සහිත, රට තුළ විශාල කීර්තියක් දිනාගත් සමාගමක් වේ. 

Ex-Pack Corrugated Cartons සමාගම දශක දෙකකට අධික කාලයක් තිස්සේ  නව නිෂ්පාදන රාශියක් හඳුන්වාදී ඇති අතර, රටවල් 8 කට අධික සංඛ්‍යාවක ප්‍රධාන පෙළේ සමාගම් හා සන්නාම ඇතුළත් සේවාදායකයන් පිරිසක් තමන් වෙත ආකර්ෂණය කරගැනීමටද සමත් වී තිබේ.

විශේෂයෙන්ම ව්‍යාපාර සමග ගනුදෙනුකිරීම (B2B) සම්බන්ධයෙන් දේශීයව මෙන්ම ජාත්‍යන්තර මට්ටමින්ද විශාල ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඇති එම සමාගම මෙරට කොරුගේටඩ් ඇසුරුම් නිෂ්පාදනය සහ අපනයනය සම්බන්ධ ප්‍රමුයෙකු වන අතර, එහි අදායමින් 52% ක්ම ලැබෙනුයේ ඇමරිකානු ඩොලර් වලින් බවත් පවසයි.

ශක්තිමත් නායකත්ව කණ්ඩායමක මෙහෙයවීම සමග නවෝත්පාදනය සහ පාරිභෝගික තෘප්තිය කෙරෙහි ප්‍රමුඛත්වය ලබාදෙමින් ඉදිරියට යන එම සමාගම, ශ්‍රී ලංකාවේ නිපදවනු ලබන සමස්ත කොරුගේටඩ් ඇසුරුම් ප්‍රමාණයෙන් 5 න් 1 ක්ම නිපදවීම විශේෂත්වයකි.

Ex-Pack Corrugated Cartons සමාගමේ මූලික කොටස් නිකුතුව සම්බන්ධයෙන් එහි සභාපති සත්තාර් කාසිම් මහතා අදහස් දක්වමින්,  “මෙම මූලික කොටස් නිකුතුව ඔස්සේ ශ්‍රී ලංකාවේ ජනප්‍රියම කොරුගේටඩ් ඇසුරුම් සමාගමක් වන Ex-Pack Corrugated Cartons සමග එක්වන මෙන් මා ජනතාවට ආරාධනය කර සිටිනවා. වර්ග අඩි 203,000 ක පමණ විශාලත්වයකින් යුත් අපගේ කර්මාන්තශාලාව තුළ සේවය කරන 295 ක්වූ පිරිස මසකට නිපදවන කොරුගේටඩ් ඇසුරුම් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 2,650 කට ආසන්නයි. මේ වනවිට අප පරිපූර්ණ මධ්‍ය කාලීන- දීර්ඝ කාලීන වර්ධන ක්‍රමෝපායක් සැලසුම් කර ක්‍රියාවට නංවා ඇතිඅතර, රු. බිලියන 3 ක පමණ වටිනාකමකින් යුත් අතිනවීන කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමත් ඊටඇතුළත්.

එම කර්මාන්ත ශාලාව සඳහා අවශ්‍ය වන සමස්ත ආයෝජනයෙන් වැඩි ප්‍රතිශතයක් දැනටමත් අප අභ්‍යන්තර වශයෙන් සහ ණය පහසුකම් මගින් සපයාගෙන තිබෙනවා. මෙම නව කර්මාන්තශාලාව නිසා 2025 වසර වන විට අපගේ ධාරිතාව දෙගුණ වී මෙට්‍රික් ටොන් 4,000 මට්ටමට පැමිණේවි

 මෙම පොදු කොටස් නිකුතුව ඔස්සේ උපයා ගැනීමට අපේක්ෂා කරන රු. මිලියන 700 කට ආසන්න මුදලත් ඒ සඳහා යෙදවීමට අප බලාපොරොත්තු වෙනවා. අප කෙරෙහි විශ්වාසය තබා මෙම කොටස් නිකුතුව සඳහා ලියාපදිංචි වූ ආයෝජකයන්ට ස්තූතිය පළකිරීමටත්, අපගේ නව කොටස් හිමියන් සාදරයෙන් පිළිගැනීමටත් මෙය අවස්ථාවක් කරගැනීමට මා කැමතියි.” යනුවෙන් පවසා ඇත.

Ex-Pack සමාගමේ නිෂ්පාදන අතරට කොරුගේටඩ් ඇසුරුම් වර්ග රාශියක් (Regular slotted cartons, die-cut cartons, laminated cartons) මෙන්ම, ප්‍රතිචක්‍රීකරණය කරන ලද අමුද්‍රව්‍ය යොදාගන්නා සහ පාරිභෝගිකයන්ගේ විශේෂ ඉල්ලීම් අනුව නිපදවන ඇසුරුම් වර්ග රාශියක් ඇතුළත් වී ඇත.

මේ අතරට, ඇඟලුම් වර්ග ගබඩා කිරීම සහ ප්‍රවාහනය කිරීම සඳහා යොදාගනු ලබන හැඟර් සහිත විශේෂ ඇසුරුම් වර්ග සහ, මත්ස්‍ය ප්‍රවාහනයට යොදාගන්නා සැහැල්ලු පෙට්ටි වර්ගද ඇතුළත් ය. තවද, මැතිවරණ දෙපාර්තමේන්තුව සමග එක්ව කටයුතු කරමින්, 2020 වසරේ ශ්‍රී ලංකාවේ පැවති මහ මැතිවරණයේදී නවීන තාක්ෂණය භාවිතා කරමින් ඡන්ද පෙට්ටි 12,350 ක් නිෂ්පාදනය කිරීමටද සමාගම කටයුතු කළේ ය.

ලොව පුරා පාරිභෝගික භාණ්ඩ, ඇඟලුම්, තේ සහ ධීවර කර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර රැසක ඉහළම තලයේ සමාගම් හා සන්නාමයන් Ex-Pack සමාගමේ නිෂ්පාදන භාවිතා කරයි.

Visits: 509