වත්මන් අභියෝගවලින් ඉදිරියට යාමට මහ බැංකු අධිපතිගෙන් ‘කළ යුතු දේ’ ලැයිස්තුවක්

රට මුහුණ දී ඇති වත්මන් අභියෝගවලින් ඉදිරියට යාමට නම් සියලු දෙනාම එක්ව කළ යුතු වැඩ ලැයිස්තුවක් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

ඉදිරි මාස හයක කාලය සඳහා සාර්ව ආර්ථික ස්ථායිතාවක් ඇති කිරීමසඳහා වන ඉදිරි දැක්ම ඉදිරිපත් කරමින් ඊයේ මහ බැංකුවේදී ඒ මහතා අනාවරණය කළේය.

 “අපි මේකට කියනවා කළයුතු දේ ලැයිස්තුවක් හැටියට. අපිට මේ වඅස්ථාවේදී දැන් තියෙන අභියෝගවලින්ඉදිරියට යන්නට නම් අපිට පැහැදිලි දර්ශනයක්, පැහැදිලි වැඩපිළිවෙලක් අවශ්‍යයි. එය අපේ රටේ සියලුම පාර්ශ්වයන්ට පැහැදිලිව දැනුම් දෙන්න පුළුවන් නම්, අපි සියලු දෙනාටම එකතු වෙලා අභියෝගයට මුහුණ දෙන්න පුළුවන්.

ඒ අනුව මහ බැංකුව විසින් සියලු දෙනාම කළ යුතු දේ පිළිබඳ යෝනාවක් ඉදිරිපත් කරන බවත්, මේසඳහා රජය, මහ බැංකුව, බැංකු ක්ෂේත්‍රය, අපනයනකරුවන්, ආනයනකරුවන්, පෞද්ගලික අංශයේ පිරිස්, පිටරටවල සිට ලංකාවට මුදල් එවන අය සහ කොටස් වෙළෙඳ පොළ මෙන්ම අනෙකුත් පාර්ශ්වයන්ද ඊට එක්විය යුතු බව ඔහු පවසයි.

ඒ අනුව මූලිකවම රජය විසින් ව්‍යාපාර හිතකාමී අයවැයක් ඉදිරිපත් කළ යුතු බව ඔහු පවසයි. එහිදී ණය නොවන මුදල් ප්‍රවාහයන්හි වර්ධනයක්, රාජ්‍ය ණය සම්මිශ්‍රණය වෙනස් කිරීම සඳහා අරමුදල් රැස් කිරීමට ලබා දෙන සක්‍රීය සහායක් විය යුතු බව ඔහු පවසයි.

එසේම මහ බැංකුව විසින් මුදල් නීති පනත තුළ නියම කර ඇති පරිදි සාර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායිතාව ඇති කිරීමට අවශ්‍ය පියවර ගැනීම කළ යුතුව ඇත. ඒ හරහා ස්ථාවර විනිමය අනුපාතයක් සහ පොලී අනුපාතික ව්‍යුහයක් තහවුරු කිරීම සිදුකළයුතුව ඇත.

බැංකු අංශය මගින් දේශීය විදේශ විනිමය හුවමාරු ගණුදෙනුවලදී වඩාත් ඉහළ විනිවිදභාවයකින් කටයුතු කිරීම කළ යුතු බව ඔහු පවසයි. එහිදී විදේශයන්ගෙන් නව අරමුදල් සහ ණය ලබා ගැනීම ඉහළ නැංවීම, අපනයන ඉපැයීම් පරිවර්තනය කිරීම තහවුරු කිරීමට මහ බැංකුව සමග සමීපව සහයෝගයෙන් කටයුතු කිරීමත් ඊට ඇතුළත් වෙයි.

එසේම වෙළෙඳ භාණ්ඩ සහ සේවා අපනයනකරුවන් විසින් විනිමය අනුපාතිකය පිළිබඳ අහිතකර සමපේක්ෂණයෙන් වැළැකිය යුතු බව මහ බැංකුව අවධාරණය කරයි. එසේම අපනයන ඉපැයීම් මෙරටට ගෙන්වා ගැනීම සහ නිසි කලට ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීමත්, අපනයන ව්‍යාපාර වර්ධනය කිරීමත් සිදුකළ යුතු බව අධිපතිවරයා පෙන්වා දෙයි.

මීට අමතරව ආනයනකරුවන් විසින් අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන ආනයන නැවැත්වීම සිදුකළ යුතු බවත් ඔහු අවධාරණය කර තිබේ.

මේ අතර සිල්ලර වෙළෙඳුන් සහ තොග වෙළෙදුන් අත්‍යවශ්‍ය ආනයනික භාණ්ඩ සහ දේශීය භාණ්ඩ තොග සඟවා තබා ගැනීමෙන් වැළැකිය යුතු බව මෙහිදී සඳහන්ව තිබේ. මිල ඉහළ නැංවීමෙන් අධි අසාමාන්‍ය ලාභ ඉපැයීමට උත්සාහ ගැනීමෙන් වැළැකීම සහ අසාමාන්‍ය ලෙස ඉහළ මිල ගණන් අය කිරීමෙන් වැළැකිය යුතු බවත් සඳහන් වෙයි.

අවසන් වශයෙන් ගෝලීය ශ්‍රී ලාංකිකයන් විසින් සිදු කරන ප්‍රේෂණ සහ ණය නොවන මුදල් ප්‍රවාහ ඉහළ නැංවීම සිදු කළයුතුව තිබේ. ඒ අනුව මෙය එක් අංශයක් වෙත පමණක් වගකීම පැවරෙන කාර්යයක් නොවන බවත්, සෑම අංශයක්ම මේ සඳහා දායක විය යුතුව ඇති බවත් මහ බැංකුව අවධාරණය කර සිටියි.

Views: 138