හෝටල් අංශයේ සමාගම් කිහිපයක වටිනාකම්හි අසාමාන්‍ය හැසිරීමක්

අද (ඔක්තෝබර් 01) දිනයේදීද කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු යම් පසුබැසීමක් සිදු වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී මූලිකවම ආයෝජකයන් විශාල ප්‍රාග්ධනයක් සහිත සමාගම් තුළින් ලාභ ඉපැයීමට යොමුවීම ඊට හේතු විය. ඒ අනුව අද පෙරවරුවේදී එළිදැක්වුණු ශ්‍රී ලංකා මහ බැංකුවෙහි 6 මාසික පෙරදැක්මද ආයෝජකයන් තුළ විශ්වාසය ගොඩනැගීමට අපොහොසත් වූ බව මින් පැහැදිලියැයි එම සමාගම් සඳහන් කරයි.

කෙසේ වෙතත් අද දිනයේදීද සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 5 ඉක්මවන අවස්ථාවක්ද වාර්තා විය. විශේෂයෙන්ම හෝටල් අංශයේ සමාගම් කෙරෙහි ආයෝජන ආකර්ෂණයක් දැකගත හැකි වූ අතර, එහිදී හෝටල් කිහිපයක් පෙන්නුම් කළ අසාමාන්‍ය හැසිරීම්ද ආයෝජකයන් තුළ ගැටලු ඇති කිරීමට හේතු වූ බව පැවසෙයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 9,427.85ත් ඒකක 9,524.12ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 9,442.30ක් බවට පත්විය. එය ඊයේ (සැප්තැම්බර් 30) දිනයට සාපේක්ෂව ඒකක 17.64ක් එනම් -0.19%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව ටීජේලංකා පීඑල්සී, එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී, එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී සහ හැටන් නැෂනල් බැංකුව තුළ සිදු වූ ගනුදෙනු පිරිවැටුමෙන් 10.6%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 97ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 92ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී MELS (+4.18), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (+3.22), එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී SPEN (+2.46), ජෙට්වින්ග් හොටේල්ස් පීඑල්සී JETS (+2.25), ජෝන්කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+2.22), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-12.88), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-4.39), එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (-4.0), හේලීස් පීඑල්සී HAYL (-3.79), ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී DIPD (-2.69යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,539.55ක අගයක් ගත් අතර, එය ඊයේ (සැප්තැම්බර් 30) ‍ට සාපේක්ෂව ඒකක 4.73ක එනම් +0.13%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 5.28ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (සැප්තැම්බර් 30) වාර්තා කළ රුපියල් බිලියන 6.94ට සාපේක්ෂව 24% ක පහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම මිලදී ගන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 4.21ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 42.12%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 29.26ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 22.45ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලා ඒම්හි වටිනාකම රුපියල් මිලියන 6.81කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 44.86ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 7.03 කි. එසේම ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 4.87ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 1,060ක් සඳහා ප්‍රවාහ අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 20%කි. එසේම ප්‍රාග්ධන භාණ්ඩ සහ පාරිභෝගික භාණ්ඩසහ ඇගලුම් අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 945ක සහ රුපියල් මිලියන 806ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 528