ඉන්දියාවේ පිරාමාල් සමාගම Dewan Housing Finance Limited මිලදී ගනී

ඉන්දියාවේ Piramal Enterprises සමාගම එරට නිවාස මූල්‍ය සේවා සම්පාදන සමාගමක් වන Dewan Housing Finance Limited (DHFL) සමාගම ඉන්දීය රුපියල් කෝටි 34,250කට මිලදී ගෙන ඇතැයි පවසයි. අද දිනයේදී මෙම ගනුදෙනුව සම්පූර්ණ වී තිබේ.

මෙම Dewan Housing Finance Limited (DHFL) සමාගම ඉන්දියාව තුළ බංකොලොත් වූ මූල්‍ය සමාගමක් ලෙස සඳහන්ව තිබේ. ඒ අනුව එරට තුළ බුන්වත් සහ බංකොලොත් සමාගම් අත්පත් කරගැනීම යටතේ එරට තුළ මූල්‍ය සේවා සමාගමක් හා සම්බන්ධව සාර්ථක වූ පළමු යෝජනාව ලෙසද සැලකෙයි.

ඒ අනුව පිරාමාල් එන්ටප්‍රයිසස් මෙහිදී ඉන්දියානු රුපියල් කෝටි 14,700ක් මුදලින් ගෙවා ඇති අතර, ඉතිරි කෝටි 19,550ක මුදල ණයක් ලෙස ලබා දී තිබේ.  

මෙම ගනුදෙනුව පිළිබඳව නිවේදනයක් නිකුත් කර ඇති පිරාමාල් එන්ටර්ප්‍රයිසස් සමාගම, මෙම යෝජනාව හරහා Dewan Housing Finance Limited (DHFL) සමාගමේ ණයහිමියන්ට ගෙවිය යුතු ඉන්දීය රුපියල් කෝටි 38,000ක මුදල ආපසු ලබා ගැනීමේ අවස්ථාවක් පවතින බවත් සඳහන් කර තිබේ.

එහිදී පිරාමාල් එන්ටර්ප්‍රයිසස් මගින් මෙම මිලදී ගැනීම සඳහා යොදවන ඉන්දීය රුපියල් කෝටි 34,250ක් සහ  Dewan Housing Finance Limited සතු රුපියල් කෝටි 3,800ක් ඒ සඳහා යොදා ගන්නා බවත් සමාගම පවසයි.

“අද වනවිට Dewan Housing Finance Limited සතුව ණයහිමිකරුවන් 70,000කට අධික සංඛයාවක් සිටිනවා. ඒ අතරින් බොහෝ දෙනෙකුම තමන්ට හිමිවිය යුතු මුදල්වලින් 46%ක් ආපසු ලබා ගැනීමට මෙම සාර්ථක අත්පත් කරගැනීමෙන් අනතුරුව හැකියාව ලැබේවි.” එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

පිරාමාල් එන්ටර්ප්‍රයිසස්හි සැලසුමට අනුව මෙම අත්පත් කරගැනීමෙන් අනතුරුව එම සමාගම යටතේ පවතින පිරාමාල් කැපිටල් ඇන්ඩ් හවුසින් ෆිනෑන්ස් ලිමිටඩ් (PCHFL) සහ Dewan Housing Finance Limited (DHFL) සමාගම් ඒකාබද්ධ කර පිරාමාල් එන්ටප්‍රයිසස්හි 100%ක කොටස් හිමිකාරීත්වයක් සහිත තනි සමාගමක් බවට පත් කරනු ඇතැයි සඳහන් වෙයි.

ඒ හරහා පිරාමාල් කැපිටල් ඇන්ඩ් හවුසින් ෆිනෑන්ස් ලිමිටඩ් (PCHFL) වෙත ඉන්දියාවේ ප්‍රාන්ත 24ක් පුරා ව්‍යාප්තව ඇති ශාඛා 301ක් සහ සේවකයන් 2,338ක් සහිත මිලියනයකට ආසන්න යාවජීව පාරිභෝගිකයන් සිටින දැවැන්ත මූල්‍ය සමාගමක් ගොඩැගීමේ අවස්ථාව හිමිවන බවත් පැවසෙයි.

ඒ අනුව මෙම නව පිරාමාල් කැපිටල් ඇන්ඩ් හවුසින් ෆිනෑන්ස් ලිමිටඩ් (PCHFL) සමාගම ඉන්දියාවේ මුල් පෙළේ නිවාස මූල්‍ය සේවා සපයන සමාගමක් බවට පත් වෙනු ඇති බවත් වැඩිදුරටත් සඳහන් වෙයි.

Views: 252