ජනතාවට නොමිලේ දෙන “සුව ධරණී” ඖෂධ මංජුසාව අගමැතිට පිළිගන්වයි

මහජනතාව කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා කර ගැනීමේ අරමුණ ඇතිව නොමිලේ බෙදා දීමට නියමිත “සුව ධරණී” ආයුර්වේද ප්‍රතිශක්තීකරණ ඖෂධ මංජුසාව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්වීම අද (28) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී සිදු වී තිබේ.

දේශිය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා විසින් අගමැතිවරයාට නිල වශයෙන් මෙම “සුව ධරණී” ඖෂධ මංජුසාව පිළිගැන්වීම සිදු කර තිබේ.

සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්තිය ප්‍රකාශය අනුව යමින් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකිරීමේ උදාර අරමුණ ඇතිව හඳුන්වා දුන් “සුව ධරණී” ආයුර්වේද ප්‍රතිශක්තීකරණ ඖෂධ මංජුසාව, සුව ධරණී ප්‍රතිශක්තීකරණ පානය, ගුඩුච්‍යාදී චූර්ණය සහ ඖෂධීය කැඳ වලින් සමන්විතය.

මෙම ආයුර්වේද ඖෂධ මංජුසාව පළමු අදියර යටතේ දිවයින පුරා පිහිටි සියලුම පූජනීය ස්ථාන වෙතත් දෙවන අදියරේ දී ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා මහජනතාව වෙතත් නොමිලේ ලබා දීමට සැළසුම් කර තිබේ. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ,දේශිය වෙදකම් ප්‍රවර්ධන,ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නිලධාරී මහත්ම මහත්මීහු පිරිසක් සහභාගී වී සිට ඇත.

Hits: 41