KOTA දිනයට සාර්ථක ආරම්භයක් දෙද්දී අතිසාර්ථක අවසානයකට EXPO දායක වෙයි

අද (සැප්තැම්බර් 24) දිනයේදී කොළඹ කොටස් හුවමාරුව තුළ ගනුදෙනු යම් සාර්ථක ආරම්භයකින් ක්‍රියාත්මක වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී කොටගල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමෙහි කොටස් තුළ සිදු වූ අසාමාන්‍ය ඉහළ ගනුදෙනු සංඛ්‍යාව ඊට හේතුව වී තිබේ. එහෙත් පසුව සමස්තයක් ලෙස වෙළෙඳ පෙළෙ ක්‍රියාකාරකම් යම් පසුබැසීමක් පෙන්නුම් කර තිබේ.

කෙසේ වෙතත් දිනයේ පසු භාගයේදී EXPO සහ LOLC සමූහයේ සමාගම්හි කොටස් සම්බන්ධයෙන් ඇති වූ මිලදී ගැනීමේ උනන්දුව දර්ශක අගයන් වේගයෙන් ඉහළ නැංවීමට සමත් විය. එහිදී EXPO සමාගම දිනයේ සමස්ත පිරිවැටුමෙන් 80%කට දායක වී ඇති අතර, දිනයේ පිරිවැටුමෙන් 40%ක්ම අවසන් විනාඩි 90 අතරතුරදී වාර්තාවීමත් කැපී පෙනෙන බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 8,830.35ත් ඒකක 8,963.05ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 8,940.11ක් බවට පත්විය. එය ඊයේ (සැප්තැම්බර් 23) දිනයට සාපේක්ෂව ඒකක 109.76ක් එනම් +1.24%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදුකළ සාකච්ඡාවලට අනුව රෝයල් සෙරමික්ස් පීඑල්සී, ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී සහ සම්පත් බැංකුව තුළ සිදු වූ ගනුදෙනු පිරිවැටුමෙන් 5.3%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 110ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 66ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+17.55), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (+17.17), එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (+16.15), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (+12.9), එල්ඕඑල්සී පීඑල්සී LOLC (+10.93), ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී CALF (-2.21), සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (-2.1), කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී CARG (-1.88), කොත්මලේ හෝල්ඩිංග්ස් පීඑල්සී LAMB (-1.6), සෙන්ට්‍රල් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී CFIN (-1.28යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,347.81ක අගයක් ගත් අතර, එය ඊයේ (සැප්තැම්බර් 23) ‍ට සාපේක්ෂව ඒකක 34.39ක එනම් +1.04%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.91ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (සැප්තැම්බර් 23) වාර්තා කළ රුපියල් බිලියන 2.02ට සාපේක්ෂව 44% ක ඉහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.98ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 34.56%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 71.28ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 117.47ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 46.19කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 43.29ක්ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 51.20 කි. එසේම නෙස්ලේ ලංකා පීඑල්සී ඡන්ද හිමි කොටස් විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 83.79ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 883ක් සඳහා ප්‍රවාහන අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 30%කි. එසේම ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය සහ ප්‍රාග්ධන භාණ්ඩ අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 765ක සහ රුපියල් මිලියන 345ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Views: 507