බ්‍රිතාන්‍යයේ UBER රියදුරන්ට විශ්‍රාම වැටුප් ක්‍රමයක් දියත් කෙරේ

බ්‍රිතාන්‍යයේ Uber සමාගමෙහි රියදුරන් ලෙස කටයුතු කරන පුද්ගලයන් වෙත විශ්‍රාම වැටුප් ක්‍රමයක් දියත් කරන්නට එම සමාගම පියවර ගෙන ඇතැයි පවසයි. ඒ අනුව 2017 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම විශ්‍රාම වැටුප් ගෙවීම ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

මෙහිදී Uber සමාගම සමගින් සම්බන්ධව සිටින පෞද්ගලික කුලී රථ රියදුරන් සියලු දෙනාම මෙම  ක්‍රමවේදය වෙත ස්වයංක්‍රීයවම ඇතුළත් වන බවත් සඳහන් වෙයි.

එහිදී Uber සමාගම රියදුරන්ගේ ඉපැයීම්වලින් මේ සඳහා 3%ක දායකත්වයක් ලබා දෙන අතර මෙය, එක්සත් රාජධානියේ කම්කරු නීතිය යටතේ ලබා දිය යුතු අවම අගය ලෙසින්ද සැලකෙයි. එසේම රියදුරන් මෙහිදී සිය ඉපැයීමෙන් 5%ක අවම දායකත්වයක් ලබා දිය යුතු බව සඳහන් කර ඇත. එසේ නැත්නම් එම ක්‍රමවේදයෙන් ඉවත්වීමේ හැකියාවද ඔවුන්ට පවතී.

මෙහිදී Uber රියදුරන් සඳහා වන විශ්‍රාම වැටුප් ගෙවීම බ්‍රිතාන්‍යයේ NOW Pensions සමාගම මගින් සිදු කරන අතර, එය කළමනාකරණය කිරීම Adecco සමාගම මගින් සිදු කරන බවත් සඳහන් වෙයි.

බ්‍රිතාන්‍යයේ Uber සමාගම සඳහන් කරන අන්දමට මෙම විශ්‍රාම වැටුප් ගෙවීම 2017 මැයි 01 වැනිදා සිට ආරම්භ වන ආකාරයට ගෙවීම සිදු වෙයි. එසේත් නැත්නම් රියදුරෙකු ලෙස Uber සමගින් සම්බන්ධ වූ දිනයේ සිට එම හිමිකම ලැබෙන බවත් සඳහන් වෙයි.

කෙසේ වෙතත් මෙම පියවරත් සමගින්ම Uber වෙත පවුම් මිලියන ගණනක පිරිවැයක් වනු ඇති බවත්, වසංගත තත්ත්වයෙන් පසුව නැවතත් සමාගම සුපුරුදු ව්‍යාපාරික මෙහෙයුම් ආරම්භ කරන අවධියේදී මෙම පියවරට යොමුවීම බලපෑමක් එල්ල කරනු ඇතැයිද විචාරකයන්ගේ අදහස වී තිබේ.

Visits: 66