ඉන්දියාවේ Sensex කොටස් මිල දර්ශකය ඉතිහාසයේ පළමුවරට ඒකක 60,000 ඉක්මවයි

ඉන්දියානු කොටස් හුවමාරුවෙහි (BSE) Sensex කොටස් මිල දර්ශකය අද පෙරවරුවේදී ඒකක 60,000 ඉක්මවූ බව වාර්තා වෙයි. එය මෙතෙක් එම දර්ශකය ඒකක 60,000 සිමාව ඉක්ම වූ පළමු අවස්ථාව බවටද සඳහන්ව තිබේ.

එසේම Nifty 50 මිල දර්ශකයත් අද පෙරවරුව වන විට ඒකක 958 කින් ඉහළ ගොස් ඒකක 18,000 සීමාවට ළගා වූ බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සඳහන් කරයි.

මෙය 2020 වසරේ මාර්තු මාසයේදී ඉන්දියාව තුළ COVID-19 වසංගත තත්ත්වයේ ව්‍යාප්තියත් සමගින් එරට Sensex කොටස් මිල දර්ශකය පත් වූ අඩුම අගය මෙන් දෙගුණයකට පත්වීමක් බව සඳහන් වෙයි. ඒ අනුව මෙම වසංගත සමයේදී වඩාත් කැපී පෙනෙන කාර්යසාධනයක් පෙන්නුම් කිරිමට සමත් වූ කොටස් හුවමාරුවක් බවටද ඉන්දියානු කොටස් හුවමාරුව පත්ව තිබේ.

විශේෂයෙන්ම ඉන්දියාව තුළ ක්‍රියාත්මක සාර්ථක COVID-19 මර්දන එන්නත්කරණ වැඩසටහන මෙලෙස කොටස් හුවමාරුවෙහි ඉහළයාමට හේතුව බව විචාරකයෝ පවසති. ඒ හරහා අද වනවිට එරට වෙළෙඳ පොළ පිළිබඳව ආයෝජක ආකර්ෂණය ඉහළ ගොස් තිබේ.

මෙහිදී විදෙස් ආයෝජකයන් තුළ ඉන්දියානු සමාගම් පිළිබඳ විශ්වාසය ඉහළ ගොස් ඇති අතර, මේ දක්වා ඩොලර් බිලියන 9යක් වටිනා විදෙස් ආයෝජන එම සමාගම් වෙත ගලා ඒම් සිදුව තිබේ. මෙය පිට පිට තෙවැනි වසරටත් ඉන්දියානු වෙළෙඳ පොළ වෙත ආයෝජන ගලා ඒමක් ලෙස වාර්තා විම කැපී පෙනෙයි.

විශේෂයෙන්ම දකුණු කොරියාව සහ මැලේසියාව යන රටවල වෙළෙඳ පොළවලින් පවා ආයෝජන පිටතට ගලායෑම් වාර්තාවෙද්දී ඉන්දියාව මෙම තත්ත්වය ආරක්ෂා කරගැනීමට සමත්ව ඇතැයි විචාරකයෝ සඳහන් කරති.

Views: 630