මෙරට නිපදවූ කාඩ්බෝඩ් මිනීපෙට්ටි 1200ක් වියට්නාමයට අපනයනය කෙරේ

මෙරට ඉතිහාසයේ පළමුවරට නිෂ්පාදනය කෙරුණු කාඩ්බෝඩ් මිනී පෙට්ටි 1,200ක් පසුගියදා වියට්නාමය වෙත අපනයනය කෙරී ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව අඩි 40 කන්ටේනර් පෙට්ටි දෙකක පුරවා මෙම කාඩ්බෝඩ් මිනී පෙට්ටි වියට්නාමය වෙත නැව්ගත කිරීම ඊයේ සිදුව තිබේ.  

මෙම කාඩ්බෝඩ් මිනී පෙට්ටි සංකල්පයේ නිර්මාතෘ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ජේෂ්ඨ නාගරික මන්ත්‍රී දේශබන්දු ප්‍රියන්ත සහබන්දු මහතාගේ සහභාගිත්වයෙන් මෙම මිනීපෙට්ටි අපනයනය කිරීම සඳහා කටයුතු සම්පාදනය කෙරී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ඒ මහතා  “2019 වසර සිට මාගේ පෞද්ගලික යෝජනාවක් අනුව දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව හරහා පරිසර හිතකාමි කාඩිබෝඩ් මෘත ශරීර බහාලුම්කරණය හදුන්වා දෙනු ලැබූවා. එය අදවන විට මෙම කොරෝනා වසංගත තත්වයත් සමග බැදී පරිසර හිතකාමී ව්‍යාපෘතියක් ලෙස සේවා ලාභීන්ට විශාල ලාභයක්ද, පලාත්පාලන ආයතනවලටද වාසිදායක තත්ත්වයක් ඇති කරමින් තිබෙනවා.” යනුවෙන් පවසා ඇත.

ඒ අතර ජනමාධ්‍ය තුළින් මෙරට පමණක් නොව විදේශ රටවලද පරිසර හිතකාමී ව්‍යාපෘතියක් ලෙසට අවධානය යොමුවී, මෙරට වියට්නාම තානාපති කාර්යාලය හරහා එරට බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේද. අනුශාසනා පරිදි මෙරට වැඩ සිටින වියට්නාම භික්ෂූනීන් වහන්සේලාගේද සම්බන්ධීකරණයෙන් කාඩිබෝඩ් මිනී පෙට්ටි 1,200 ක් එකවර නැවිගත කිරීමටද හැකිවූ බව ඒ මහතා පවසා තිබේ.

“වියට්නාමයෙන් පසු තවත් රටවල් කීපයක් දැනටමත් මේ සඳහා ඇනවුම් ලබා දීමත් නිසා තවත් වැඩියෙන් විදේශ විනිමය උපයා ගැනීමටද හැකි වනවා. ඒ අතර මෙරට පලාත් පාලන ආයතන ගනනාවක් දැනටමත් මෙම ව්‍යාපෘතිය සඳහා යොමුවී ඇනවුම් ඉදිරිපත් කර දැනටත් දිවයිනේ ප්‍රදේශ කීපයකටම කාඩ්බෝඩ් මිනී පෙට්ට් සැපයීම සිදු කර තිබෙනවා.” යනුවෙන්ද සහබන්දු මහතා වැඩිදුරටත් පවසා ඇත.

Visits: 187