“දේශීය කිරිපිටි මිල ඉහළ නොදැම්මොත් අර්බුදයක් ඇති වෙනවා” – මිල්කෝ සභාපති

ආනයනික විදේශීය කිරිපිටි මිල ඉහළ දැමීමට අවසර ලබා දෙන්නේ නම් ඒ සමගම දේශීය කිරිපිටි මිලද ඉහළ දැමීමට අවස්ථාව ලබා දිය යුතු බව මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා පවසයි.

ඊයේ මාධ්‍ය වෙත අදහස් දැක්වීමක් සිදු කරමින් ඒ මහතා මේ බව පවසා තිබේ. විශේෂයෙන්ම මෙම තත්ත්වය හරහා දේශීය කිරි කර්මාන්තය විශාල අර්බුදයකට ලක්වීමේ අවදානමක් පවතින බවත් එය වළක්වා ගැනීම සඳහා මෙම මිල ඉහළ දැමීම සිදුකළ යුතුව ඇති බවත් සභාපතිවරයා එහිදී පෙන්වා දී තිබේ.

“පසුගිය කාලසීමාවේදී අපි රජයෙන් ඉල්ලීමක් කළෙත් නැහැ මිල ඉහළ දමන්න කියලා. හැබැයි මේ අවස්ථාවේදී දේශීය කිරිපිටිවල නැතුව විදේශීය කිරිපිටිවල මිල ගණන් ඉහළ දැමීමට අවස්ථාව ලබා දීමෙන් දේශීය කිරි කර්මාන්තය විශාල අර්බුදයකට ලක්වෙන්න පුළුවන්. ඒ නිසා ආනයනික කිරිපිටිවල මිල වැඩි කරන්න දෙනවා නම්, ඒ හා සමානවම දේශීයව නිපදවන කිරිපිටිවල මිලත් ඉහළ දැමිය යුතු වෙනවා. එහෙම නොවුණොත් වෙළෙඳ පොළෙහි ඇති වන තරගකාරීත්වය තුළ දේශීය කිරි ගොවියාට විශාල හානියක්, විශාල පාඩුවක් සිද්ධ වෙන්න පුළුවන්.” යනුවෙන් සභාපතිවරයා මෙහිදී පවසා ඇත.

මේ අතර මෙරට ජනතාවට පිටිකිරිවලින් තොරව දියර කිරි යොදා ගනිමින් තමන්ගේ තේ පානයන් සකස් කරගැනීමට හැකියාවක් ඇත්නම් කිරිපිටි සඳහා යන වියදම 50%කින් පමණ අඩු කරගැනීමේ හැකියාවක් පවතින බවත් ඔහු මෙහිදී සඳහන් කර ඇත.

“ගොඩක් අය හිතනවා දියර කිරි පරිභෝජනය මිල වැඩියි කියලා. ඒකට හේතු වෙන්නේ දියර කිරි නිකං බොන එකෙයි. පිටි කිරි කහට දාලා බොන එකයි සංසන්දනය කරලා. හැබැයි අපි සංසන්දනය කරන්න ඕනේ දියවර කිරිවලින් කරන දේම පිටිකිරිවලින් කරන්න යන වියදම ගැන.”

කිරිපිටි කිලෝ එකකින් තේ කිරි කෝප්ප 40ක් සාදා ගත හැකි බව සභාපතිවරයා මෙහිදී පවසා සිටියි. දියර කිරිවලින් එම කිරි තේ සකසා ගැනීමේදී කහට තුනෙන් දෙකකට දියර කිරි තුනෙන් එකක් දමා එය සකස් කර ගත හැකිබවත් ඔහු පෙන්වා දෙයි.

“මේ ක්‍රමයට අපිට කිරි තේ කෝප්ප 40ක් සකස් කරගන්න යන්නේ දියර කිරි ලීටර් දෙකහමාරක් විතරයි. වෙළෙඳ පොළෙන් මේ UHT දියර කිරි ලීටර් දෙකහමාරක් රුපියල් 500ක වගේ මුදලකට ලබා ගන්න පුළුවන්. ඒ නිසා මෙය කොතරම් ලාභදායකද කියලා පෙනෙනවා. පිටිකිරිවලට රුපියල් 1000කට ආසන්න මුදලක් දීලා කළ දේ රුපියල් 500ක් වැනි මුදලකින් කරන්න පුළුවන්වීමත් සමග.” යනුවෙන්ද මිල්කෝ සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා තිබේ.

Views: 244