EXPO, BIL සහ LOLC ඉහළ යාමෙන් වෙළෙඳ පොළ පිටපිට දෙවැනි දිනටත් ශක්තිමත් යථාවත්වීමක

අද දිනයේදී (සැප්තැම්බර් 15) කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු පිටපිට දෙවැනි දිනටත් වඩාත් ශක්තිමත් යථාවත්වීමක් වාර්තා කළ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී එක්ස්පෝ ලංකා හෝලග්ඩිංග්ස් පීඑල්සී කොටස් වටිනාකම් කැපී පෙනෙන ලෙස ඉහළ යාම ඊට හේතුව වී තිබේ. එසේම එම කොටස් වටිනාකම් දිනය තුළ 11%කින් ඉහළ ගොස් ඇති අතර එය දෛනික පිරිවැටුමෙන් 40%ක් සඳහා දායක වී තිබේ. මීට අමතරව බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සහ LOLC සමූහයේ සමාගම්වල කොටස් වටිනාකම්හි සිදු වුණු ඉහළ යෑම්ද දර්ශක අගයන් දෙකෙහි වර්ධනය වෙත මූලිකවම බලපා තිබේ.

ඒ අනුව අද දිනයේදී ඒකක 8,692.54ත් ඒකක 8,961.41ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 8,931.21ක් බවට පත්විය. එය ඊයේ (සැප්තැම්බර් 14) දිනයට සාපේක්ෂව ඒකක 238.61ක් එනම් +2.74%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදුකළ සාකච්ඡාවලට අනුව එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී හි සිදු වුණු ගනුදෙනුවක් පිරිවැටුමෙන් 0.8%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 156ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 51ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+76.77), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ස් පීඑල්සී BIL (+29.02), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+22.66), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (+18.6), එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (+15.35), කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී CARG (-6.36), ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී CALF (-2.63), නෙස්ලේ ලංකා පීඑල්සී NEST (-2.53), සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී SHL (-1.07), ජැට් හෝල්ඩිංග්ස් පීඑල්සී JAT (-1.03යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,332.26ක අගයක් ගත් අතර, එය ඊයේ (සැප්තැම්බර් 14) ‍ට සාපේක්ෂව ඒකක 75.94ක එනම් +2.33%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 5.49ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (සැප්තැම්බර් 14) වාර්තා කළ රුපියල් බිලියන 3.59ට සාපේක්ෂව 53% ක ඉහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.87ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 30.83%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 40.46ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 52.43ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 11.97කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 42.63ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 11.90කි. එසේම එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 8.65ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 2,190ක් සඳහා ප්‍රවාහන අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 40%කි. එසේම ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය සහ විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 1,096ක සහ රුපියල් මිලියන 788ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Views: 396