ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති කබ්රාල් මහ බැංකු මුදල් මණ්ඩලයේ සභාපති ධුරයට

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා බවට පත් වූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකුවෙහි මුදල් මණ්ඩලයේ සභාපතිවරයා ලෙසද ඉදිරියට කටයුතු කරනු ඇතැයි මහ බැංකුව පවසයි. ජනපතිවරයාගේ නිර්දේශය අනුව මහ බැංකුවෙහි 16 වැනි අධිපතිවරයා ලෙස කබ්රාල් මහතා ඊයේ පත්වීම් ලැබීය.

මහ බැංකුවෙහි කළමනාකරණයට, මෙහෙයුමට සහ පරිපාලනයට සම්බන්ධ සියලුම ප්‍රතිපත්ති තීරණ ගැනීම මෙම මුදල් මණ්ඩලය මගින් සිදු වෙයි. ශ්‍රී ලංකා මහ බැංකුව සංස්ථාපිත ආයතනයක් නොවන නිසා එයටම ආවේණික වූ නීතිමය ව්‍යුහයක් පවතින බවත්, මුදල් නීති පනතට අනුව සියලුම බලතල සහ කාර්යයන් හිමි මුදල් මණ්ඩලයට සංස්ථාපිත වගකීම පැවරී ඇති බවත් මහ බැංකුව පවසයි.

ඒ අනුව මහ බැංකුවෙහි පාලනාධිකාරිය ලෙස සැලකෙන්නේද මෙම මුදල් මණ්ඩලයයි. එය සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සමන්විත වෙයි. මහ බැංකු අධිපති,  මුදල් අමාත්‍යාංශයේ ලේකම් (නිල බලයෙන්), විධායක නො වන සාමාජිකයින් තිදෙනෙකු (3) ඔවුන්ය.

“මහ බැංකු අධිපති මුදල් මණ්ඩලයේ සභාපතිවරයා වන අතර මහ බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ද ක්‍රියා කරයි. මුදල් අමාත්‍යවරයාගේ නිර්දේශ මත ජනාධිපති විසින් අධිපති සහ මුදල් මණ්ඩලයේ විධායක නො වන සාමාජිකයින් පත් කරනු ලැබේ. මුදල් මණ්ඩලයේ විධායක නො වන සාමාජිකයින් පත් කිරීම සඳහා ව්‍යවස්ථාපිත මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය වේ.“ මහ බැංකුව පවසයි.

අධිපතිගේ සහ මුදල් මණ්ඩලයේ විධායක නො වන සාමාජිකයින්ගේ නිල කාලය අවුරුදු හය (6) කි. මුදල් මණ්ඩල රැස්වීම් සඳහා සාමාජිකයින් තිදෙනෙකුගෙන් (3) යුතු ගණපූරණයක් තිබිය යුතු ය. මුදල් මණ්ඩලයේ තීරණ වලංගු වීම සඳහා සාමාජිකයින් තිදෙනෙකුගේ (3) අනුමැතිය අවශ්‍ය වේ.

කෙසේ වුවත් ඒකමතික තීරණයක් ගැනීමට අවශ්‍ය වූ විටක දී සාමාජිකයින් පස් (5) දෙනාගේ ම අනුමැතිය අනිවාර්ය වේ.

වත්මන් ශ්‍රී ලංකා මහ බැංකු මුදල් මණ්ඩලයේ සාමාජිකයන් වන්නේ අධිපති, මුදල් මණ්ඩලයේ සභාපති අජිත් නිවාඩ් කබ්රාල්, නිල සාමාජික භාණ්ඩාගාර හා මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල, පත් වූසාමාජිකයන් – ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන, ආචාර්ය රාණි ජයමහ සහ සමස්ත කුමාරසිංහ යන මහත්ම මහත්මීන්ය.

Visits: 130