නෙස්ලේ මව් සමාගම Nestle Lanka PLC හි සිය කොටස් හිමිකම තවත් ඉහළ නංවාගනී

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත නෙස්ලේ ලංකා පීඑල්සී සමාගමෙහි කොටස් 295,078ක් මිලදී ගැනීමට එහි මව් සමාගම වන ස්විස්ටර්ලන්තයේ පිහිටි Nestle S.A.සමාගම පියවර ගෙන ඇතැයි පවසයි.

පසුගිය සැප්තැම්බර් 09 වැනිදා කොළඹ කොටස් හුවමාරුවෙහි සිදු කළ ගනුදෙනුවක් ලෙස මෙම මිලදී ගැනීම සිදුව තිබේ.

ඒ අනුව මෙම කොටස් අත්පත් කරගැනීමත් සමගින්ම Nestle S.A.සමාගම සතු නෙස්ලේ ලංකා පීඑල්සී සමාගමේ සාමාන්‍ය ඡන්ද හිමි කොටස් ප්‍රමාණය 49,300,234ක් දක්වා ඉහළ යන අතර, එය ප්‍රතිශතයක් ලෙස 91.76% කි.

පසුගිය ජූනි මාසයේදීද Nestle S.A.සමාගම නෙස්ලේ ලංකා හි කොටස් 211,410ක් මිලදී ගත් අතර, ඒ සමගම එම සමාගම සතු නෙස්ලේ ලංකා පීඑල්සී කොටස් ප්‍රමාණය 48,793,746ක් දක්වා ඉහළ යාම සිදු විය.

නෙස්ලේ ලංකා කොටස් හිමිකාරීත්වයෙන් 493,037ක් Citibank New York S/A Norges Bank Account 2 ලෙස හිමිව තිබේ. එය ප්‍රතිශතයක් ලෙස 0.92% කි. එසේම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ – ජීවිත රක්ෂණ අරමුදල වෙත 264,404ක කොටස් ප්‍රමාණයක් හිමිව ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 0.49% කි.

1866 වසරේදී ඇන්ග්ලෝ ස්විස් කන්ඩෙන්ස්ට් මිල්ක් කම්පැනි ලෙස පිහිටවුණු Nestle S.A සමාගම වසර 155ක් පැරණි සමාගමකි. එය නෙස්ලේ ඇන්ඩ් ඇන්ග්ලෝ-ස්විස් කන්ඩෙන්ස්ඩ් මිල්ක් කම්පැනි බවට පත්වන්නේ 1905 වසරේදීය. හෙන්රි නෙස්ලේ එහි නිර්මාතෘවරයාය.

එම සමාගම මගින් 1906 වසරේදී ශ්‍රී ලංකාව තුළ සිය ශාඛාවක් පිහිටුවා ඇති අතර එය නෙස්ලේ සිලෝන් කම්පැනි ලෙස නම් විය. පසුව 1980දී නෙස්ලේ ලංකා පීඑල්සී ලෙස එම සමාගම ලැයිස්තුගත කෙරිණි.

Views: 483