සන්ෂයින් හෝල්ඩිංග්ස් සතුවූ Sky Solar (Pvt)Ltd වින්ඩ්ෆෝර්ස් පීඑල්සී වෙත අලෙවි කෙරේ

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමට අයත් සන්ෂයින් එනර්ජි (පෞද්) සමාගම යටතේ ක්‍රියාත්මක වූ Sky Solar (Pvt) Ltd සමාගම වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම වෙත අලෙවි කර ඇතැයි සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පවසයි.

ඊයේ (සැප්තැම්බර් 09දා) මෙම ගනුදෙනුව සිදුව තිබේ. ඒ අනුව මෙහිදී Sky Solar (Pvt) Ltd සමාගමේ 100%ක කොටස් හිමිකාරීත්වයක් අත්පත් කරගැනීමට වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම කටයුතු කර ඇති අතර, ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 265ක් (265,000,000ක්) ලෙස සටහන්ව තිබේ.

මෙම වටිනාකම ඉදිරියේදී වාරික දෙකක් යටතේ මෙම මුදල පියවීමට වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම සහ සන්ෂයින් එනර්ජි (පෞද්) සමාගම අතර එකඟතාවද ඊයේ දිනයේ අත්සන් තබා තිබේ.

සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සඳහන් කරන ආකාරයට සන්ෂයින් එනර්ජි (පෞද්) සමාගමේ කොටස් හිමිකාරීත්වයෙන් 70%ක් සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම වෙත හිමිව තිබී ඇත.

විශේෂයෙන්ම සන්ෂයින් හෝල්ඩිංග්ස් සමූහය සිය බලශක්ති ව්‍යාපාරයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීමේ ක්‍රමෝපායික වැඩසටහනේ අවස්ථාවක් ලෙස මෙලෙස Sky Solar (Pvt) Ltd සමාගම අලෙවි කර දැමුණු බවද සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී පවසයි.

මේ අතර සන්ෂයින් එනර්ජ් පෞද්ගලික සමාගම යටතේ තිබූ Waltrim Energy Ltd සමාගමද පසුගිය අප්‍රේල් මාසයේදී එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී සමාගම වෙත අලෙවි කෙරිණි. එහිදී රුපියල් මිලියන 900ක මුදලකට මෙම ගනුදෙනුව සිදු විය.

Sky Solar (Pvt) Ltd සමාගම සතුව අද වනවිට කොළඹ සහ මහකොළඹ ආශ්‍රිතව විවිධ ප්‍රදේශවල පිහිටි කර්මාන්තශාලා 8ක වහලමත පිහිටි සූර්යපැනල පද්ධති හරහා මෙගාවොට් 2.2ක හිමිකාරීත්වය සහ මෙහෙයුම් සිදු කරයි.

ඒ අනුව වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සතු විදුලිබල ජනන ධාරිතාව තවත් ඉහළට යාම මින් සිදු වෙයි.

Views: 573