IMF වෙතින් ලංකාවට ඩොලර් මිලියන 780ක් ලැබෙනවාලු

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි SDR (Special Drawing Rights) පහසුකම හරහා ශ්‍රී ලංකාව වෙත එක්සත් ජනපද ඩොලර් මිලියන 780ක මුදලක් හිමිවීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි.

පසුගිය අගෝස්තු 23 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මෙම  SDR පහසුකම ලබා දීම ක්‍රියාත්මක කිරීම පිළිබඳව නිල නිවේදනය සිදු කළාය. මේ හරහා එම අරමුදලෙහි සාමාජික රටවල් වෙත එක්සත් ජනපද ඩොලර් බිලියන 650ක මුදලක් නිදහස් කිරීම සිදුව තිබේ.

විශේෂයෙන්ම කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මතුව තිබෙන සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ ගැටලු වෙත පිළියම් යෙදවිම වෙනුවෙන් මෙම මුදල් සිය සාමාජික රාජ්‍යයන් වෙත මුදාහරින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා සිටියි.

මෙහිදී ශ්‍රී ලංකාව වෙත SDR මිලියන 554.4ක් වෙන් කෙරී ඇති අතර, එය ආසන්න වශයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 780ක් පමණ වනු ඇතැයි මහාභාණ්ඩාගාරයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා ඩේලිමිරර් පුවත්පත වෙත ඊයේ පවසා තිබුණි. ඒ මහතා පවසන ආකාරයට ඉදිරියේදී මෙම මුදල් මහ බැංකුව වෙත හිමිවීමට නියමිතව තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොටස්හිමිකම් අනුව සමානුපාතික වන ආකාරයට මෙම පහසුකම යටතේ මුදල් බෙදා දීම සිදුව තිබේ. මෙම මුදල් මූලිකවම සිය සංචිත වර්ධනය කරගැනීම සඳහා ලබා දෙන්නක් බවද එම අරමුදල පවසයි. විශේෂයෙන්ම සිය සාමාජික රටවල් සතු නිල විදේශ මුදල් සංචිත ප්‍රමාණය වෙනුවෙන් ලබා දෙන සහායක් ලෙස එම අරමුදල මගින් ජාත්‍යන්තර සංචිත වත්කමක් ලෙස මෙම SDR පහසුකම නිර්මාණය කර තිබේ.

මෙහිදී ඉන්දියාව වෙත SDR මිලියන 12,569ක් හිමිව ඇති අතර, එය ඩොලර් බිලියන 17,8කට සමාන අගයකි. එසේම බංග්ලාදේශය වෙතත් ඩොලර් බිලියන 1.5ක මුදලක් අනුමත කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවද සිය විදේශ මුදල් සංචිත වර්ධනය කරගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙම SDR පහසුකම මගින් ලබා දීමට නියමිතව තිබූ ඩොලර් ප්‍රමාණය බලාපොරොත්තුවෙන් සිටින බව පසුගියදා සඳහන් කර තිබුණි.

මෙම ඩොලර්ද සමගින් වසර අවසන් වනවිට රටෙහි විදේශ මුදල් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 4.0ක් බවට පත් කිරීම මහ බැංකුවෙහි අදහස වී ඇත. ජූලි මාසය අවසන් වනවිට එය ඩොලර් බිලියන 2.8ක් දක්වා පහත වැටී තිබුණි.

Views: 208